රුපියල් මිලියන 26 කට අධික කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 03 ක් නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම පොලීසිය හා එක්ව මුලන්කාවිල්, මුද්දලම්පිඩ්ඩි ප්‍රදේශයේ අද (2021 අප්‍රේල් 18) සිදු කළ විශේෂ ‍සෝදිසි මෙහෙයුමක් මගින් කිලෝග්‍රෑම් 89 කට අධික කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙක් (03) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් යුතුව මුර සංචාර සහ මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව අද දින උතුරු මැද නාවික විධානය මන්නාරම පොලීසිය හා එක්ව සිදු කළ මෙම විශේෂ මෙහෙයුමේදී මුලන්කාවිල්, මුද්දලම්පිඩ්ඩි ප්‍රදේශයේ සිප්පිආරු පාලම අසලදී සැක සහිත ට්‍රක් රථයක් පරීක්‍ෂා කර එහි ගෝනි උර 05 ක අසුරා සූක්‍ෂම ලෙස සඟවා ප්‍රවාහනය කරමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 89 කට අධික තොගයක් සොයා ගැනීමට සමත් විය. එහිදී මෙම ජාවාරමට සම්බන්ධ ට්‍රක් රථයේ සිටි සැකකරුවන් තිදෙනෙක් (03) කේරළ ගංජා තොගය හා ට්‍රක් රථය සමඟ අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙහෙයුම මගින් අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගයේ වීථී වටිනාකම රුපියල් මිලියන 26කට අධික වන බවට විශ්වාස කරන අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 26 ත් 44 ත් අතර ව‍යසේ පසුවන වව්නියාව සහ නානට්ටාන් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලදි.

කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් සිදු කළ මෙම මෙහෙයුම මගින් අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගය, සැකකරුවන් සහ ට්‍රක් රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම පොලීසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.