රුපියල් මිලියන 72 කට අධික වටිකානමින් යුත් කේරළ ගංජා තොගයක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, සිල්ලාලෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ 2021 අප්‍රේල් මස 28 වන දින සිදු කළ විශේෂ මෙහෙයුමකදී කිලෝග්‍රෑම් 240 කට අධික කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව අප්‍රේල් 28 වන දින උතුරු නාවික විධානය මගින් යාපනය, සිල්ලාලෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී මලු 07ක පාර්සල් 105 ක් වශයෙන් ජාකොටුවක සූක්‍ෂම ලෙස සඟවා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 240.95 ක පමණ තොගයක් සොයා ගන්නා ලදි.

නාවික හමුදාව ප්‍රදේශයේ සිදුකරනු ලබන නිරන්තර මෙහෙයුම් හේතුවෙන් ජාවාරම්කරුවන් විසින් මෙම කේරළ ගංජා ප්‍රමාණය ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව මෙලෙස ජාකොටුවක සඟවා තබන්නට ඇතැයි සැක කෙරෙන අතර, මෙම මෙහෙයුම මගින් නාවික හමුදා භාරයට ගන්නා ලද කේරළ ගංජා ‍තොගයේ වීථී වටිනාකම රුපියල් මිලියන 72ට අධික වන බවට විශ්වාස කෙරේ.

කොව්ඩ් -19 ව්‍යාප්තිය වැළැක්වීමේ සියළු සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් සිදු කළ මෙම මෙහෙයුම මගින් නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගය ගිනි තබා විනාශ කිරීමට කටයුතු කරන ලදි..