නාවික හමුදා දායකත්වයෙන් ගාල්ල, වක්වැල්ල පාලම තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කෙරේ

ගාල්ල, වක්වැල්ල ප්‍රදේශයේ ගිං ග‍ඟ හරහා ඇති වක්වැල්ල පාලම තුළ සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ තවත් මෙහෙයුමක් නාවික හමුදාව විසින් 2021 මැයි මස 01 වන දින ක්‍රියාත්මක කෙරිණි.

ගිං ග‍ඟෙහි ජල මට්ටම ඉහළ යාමත් සමඟ සැඩ ජල පහරට හසුව ගසාගෙන එනු ලබන ගිං ග‍ඟෙහි ප්‍රධාන ගංඟාව සහ අතු ගංඟා ආශ්‍රිත ප්‍රදේශයන්ට නොසැලකිළිමත් ලෙස බැහැර කරනු ලබන කැළිකසළ, දැව කඳන් සහ උණ පඳුරු ඇතුළු අපද්‍රව්‍ය වක්වැල්ල පාලම තුළ සිරවී ජලය ක්‍රමවත්ව බැස යාම අවහිරවීම සිදුවේ.

මේ සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් සිටින නාවික හමුදාව, දකුණු නාවික විධානයට අනුයුක්ත කිමිදුම් අංශය, ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝනය සහ මැරීන් බලඝනයට අයත් නාවිකයින්ගෙන් සමන්විත කණ්ඩායමක් යොදවා සිරවූ එම අපද්‍රව්‍ය ඉවත්කර, ජලය ක්‍රමවත්ව බැස යාමට හැකි වන පරිදි සකස් කිරීමට කටයුතු කෙරිණි.