ගංවතුර අවදානමට පෙර නාවික හමුදා සහන කණ්ඩායම් ස්ථානගත කෙරේ

මේ දිනවල පවත්නා අධික වර්ෂාපතනය හේතුවෙන් ඉදිරියේදී ඇතිවිය හැකි ගංවතුර අවදානමට පෙර සුදානමක් ලෙස කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය වෙත නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර, මුදවා ගැනීමේ හා සහන ඒකකයට අයත් කණ්ඩායම් දෙකක් ස්ථානගත කිරීම අද (2021 මැයි 13) දින සිදු කෙරිණි.

කළුතර දිස්ත්‍රික්කය ඔස්සේ ගලා බසින කළු ග‍‍ඟෙහි ජල පෝෂක ප්‍රදේශ වෙත ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ කළු ගඟ සහ එහි අතු ගංඟාවන්ගේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් බුලත්සිංහල ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශ ගංවතුර අවදානමට ලක්වීමේ හැකියාවක් ඇත. ඒ හේතුවෙන් නාවික හමුදා සහන කණ්ඩායම් සිදුවිය හැකි ආපදාවට පෙර එම ප්‍රදේශය වෙත අනුයුක්ත කරන මෙන් බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් විසින් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය හරහා කළ ඉල්ලීමකට අනුව වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර, මුදවා ගැනීමේ හා සහන ඒකකයට අයත් සහන කණ්ඩායම් දෙකක් (02) මෙලෙස බුලත්සිංහල ප්‍රදේශයේ ස්ථාන ගත කිරීමට කටයුතු කරන ලදී.

තවද, ගංවතුර ආපදාවකදී සිදුවිය හැකි ව්‍යසනකාරී තත්ත්වයන් අවම කර ගැනීම සඳහා පෙර සූදානමක් වශයෙන් නාවික හමුදාව දිවයිනේ විවිධ ප්‍රදේශවල අපද්‍රව්‍ය එකතු වී ජලය බැස යාම අවහිරවී තිබූ පාලම් පිරිසිදු කිරීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන ලද අතර, රටතුල ඇතිවී තිබෙන කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ වුවද රටේ ඇතිවන ඕනෑම ආපදා තත්වයකදී මහජනතාවට ක්‍ෂණිකව සහන සැලසීම සඳහා අවශ්‍ය සහාය ලබාදීමට නාවික හමුදාව නිරන්තර සුදානමින් සිටි.