ගාල්ල දිස්ත්‍රික්කයේ ගංවතුර අවදානම සහිත ප්‍රදේශ කිහිපයක නාවික හමුදා සහන කණ්ඩායම් ස්ථානගත කෙරේ

ගාල්ල දිස්ත්‍රික්කයේ ගංවතුර අවදානම සහිත නාගොඩ සහ තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර, මුදවා ගැනීමේ හා සහන ඒකකයට අයත් තවත් කණ්ඩායම් 04ක් නාවික හමුදාව විසින් අද (2021 මැයි 13) ස්ථානගත කෙරිණි.

අධික වර්ෂාවත් සමඟ ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, උඩුගම සහ තවලම ප්‍රදේශ ආශ්‍රිතව ගලා බසින ගිං ග‍‍ඟෙහි ජල මට්ටම ඉහළ ගොස් ඇත. ඒ හේතුවෙන් එම ප්‍රදේශ ගංවතුර අවදානමට ලක්වීමේ හැකියාවක් ඇති බැවින් නාගොඩ ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ නාගොඩ සහ උඩුගම යන ප්‍රදේශ වෙත නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර, මුදවා ගැනීමේ හා සහන ඒකකයට අයත් කණ්ඩායම් දෙකක් ද (02), තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය වෙත තවත් කණ්ඩායම් දෙකක් ද (02) දකුණු නාවික විධානය මඟින් කඩිනමින් ස්ථානගත කිරීමට කටයුතු කරන ලදි.

එමෙන්ම, පවත්නා අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ අවශ්‍යතාවය මත ක්ෂණිකව ස්ථානගත කිරීම සඳහා තවත් සහන කණ්ඩායම් 06ක් දකුණු නාවික විධානය තුල සූදානමින් තබා ඇත.