ගංවතුරෙන් ආපදාවට පත්ව සිටි පිරිස් නාවික හමුදා සහන කණ්ඩායම් විසින් මුදා ගැනේ

මේ දිනවල පවත්නා අධික වර්ෂාපතනය හේතුවෙන් ඇතිවිය හැකි ගංවතුර අවදානම් තත්ත්වය යටතේ ආපදාවට පත් වන ජනතාව මුදා ගැනීම සහ අවශ්‍ය සහන සැලසීම සඳහා බස්නාහිර හා දකුණු පළාත් තුළ ගංවතුර අවධානමක් සහිත ප්‍රදේශයන් වල නාවික හමුදා සහන කණ්ඩායම් 10ක් ස්ථානගත කිරීමට මේ වන විට කටයුතු කර ඇත. ඒ අනුව 2021 මැයි 13 වන දින රාත්‍රියේ ගාල්ල උඩුගම ප්‍රදේශයේදී ගිං ගඟ පිටාර ගැලීමෙන් ආපදාවට පත්ව සිටි පුද්ගලයින් 06 දෙනෙකු බේරා ගැනීමට නාවික හමුදා සහන කණ්ඩායම් සමත් විය.

මෙහිදී, පෙරදින රාත්‍රියේ ගිං ග‍ඟෙහි ජල මට්ටම ඉහළ යාමෙන් ගාල්ල උඩුගම ප්‍රදේශයේ ඇතිවූ ගංවතුර තත්ත්වය හමුවේ පාරුවක් පෙරළීමෙන් සැඩ ජල පහරට හසුව ගසාගෙන ගොස් ගසක රැදී සිටි පිරිමි පුද්ගලයින් තිදෙනෙක් (03) සහ එක් (1) කාන්තාවක්ද , ගංවතුර හේතුවෙන් නිවසක කොටුවී සිටි එම ප්‍රදේශයේම තවත් කාන්තාවන් දෙදෙනකුද (02) ගාල්ල උඩුගම ප්‍රදේශය වෙත අනුයුක්ත කර සිටි නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර, මුදවා ගැනීමේ හා සහන ඒකකයට අයත් සහන කණ්ඩායම් විසින් බේරා ගැනීම‍ට කටයුතු කරන ලදී.

මේ වන විට පවතින ගංවතුර අවදානම් තත්ත්වය හමුවේ කළු, ගිං සහ නිල්වලා යන ගංඟා වල ජල මට්ටම් ඉහළ යාම හේතුවෙන් ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයකදී අවශ්‍ය සහන සැළසීම සඳහා කළුතර දිස්ත්‍රික්කයේ පරගොඩ, බුලත්සිංහල සහ වළල්ලාවිට ප්‍රදේශ ආවරණය වන පරිදි සහන කණ්ඩායම් 03ක් ද, ගාල්ල දිස්ත්‍රික්කයේ උඩුගම, තවලම, නාගොඩ සහ බද්දේගම ප්‍රදේශ ආවරණය වන පරිදි සහන කණ්ඩායම් 06ක් ද, මාතර දිස්ත්‍රික්කයේ අතුරලිය ප්‍රදේශය ආවරණය වන පරිදි සහන කණ්ඩාමක් (01) වශයෙන් නාවික හමුදා සහන කණ්ඩායම් 10ක් ස්ථාන ගත කිරීමට මේ වන විට කටයුතු කර ඇත.

එමෙන්ම, පවත්නා අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මහජනතාවට සහන සැළසීමට, අවශ්‍යතාවය මත කඩිනමින් ක්‍රියාත්මක වීම සඳහා සහන කණ්ඩායම් යෙදවීමට නාවික හමුදාව සූදානමින් සිටී.