ගංවතුරෙන් ආපදාවට පත්ව සිටින පිරිස් වෙත සහන සැළසීමට නාවික හමුදා සහන කණ්ඩායම් තවදුරටත් ක්‍රියාත්මකයි

පැවති අධික වර්ෂාව හේතුවෙන් ඇතිවී තිබෙන ගංවතුර තත්ත්වය හමුවේ ආපදාවට පත්ව සිටින ජනතාව මුදා ගැනීමට සහ සහන සැළසීමට තවත් නාවික හමුදා සහන කණ්ඩායම් 02ක් ගම්පහ දිස්ත්‍රික්කයේ ගංවතුර අවදානමක් සහිත ප්‍රදේශවල ස්ථානගත කිරීමට අද (2021 මැයි 15) කටයුතු කෙරිණි.

ඒ අනුව මේ වන විට ගම්පහ, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක තුළ ගංවතුර අවධානමක් සහිත ප්‍රදේශ ආවරණය වන පරිදි නාවික හමුදා සහන කණ්ඩායම් 15ක් ස්ථාන ගතකරමින් එම ප්‍රදේශවල ආපදාවට පත් ජනතාව වෙත අවශ්‍ය සහයෝගය සහ සහන ලබා දීමටත්, මේ වන විට ගංවතුර තත්ත්වය පහව යන ප්‍රදේශවල ජනතාවගේ දෛනික කටයුතු සිදුකර ගැනීමට අවශ්‍ය සහයෝගය ලබා දීමටත් අඛණ්ඩව කටයුතු කරමින් සිටියි.

තවද, ගාල්ල බද්දේගම ප්‍රදේශයේ ඇතිවූ ගංවතුර තත්ත්වය හමුවේ එම ප්‍රදේශ‍යේ කොටුවී සිටි කාන්තාවන් දෙදෙනකු (02) සහ පිරිමි පුද්ගලයින් දෙදෙ‍නකු (02) ගාල්ල බද්දේගම ප්‍රදේශය වෙත අනුයුක්ත කර සිටි නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර, මුදවා ගැනීමේ හා සහන ඒකකයට අයත් සහන කණ්ඩායම් විසින් බේරා ගැනීම‍ට කටයුතු කරන ලදී.

එමෙන්ම, රටෙහි පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවටපත් මහජනතාවට සහන සැළසීමට හා අවශ්‍යතාවය මත ක්ෂණිකව ක්‍රියාත්මක වීමට නාවික හමුදාව තවදුරටත් සූදානමින් සිටී.