අක්‍රිය වූ ඉඟිනිමිටිය ජලාශයේ වාන් දොරටු යථාතත්ත්වයට පත් කිරීමේ මෙහෙයුමක්

පුත්තලම් දිස්ත්‍රික්කයේ ඉඟිනිමිටිය ජලාශයේ අක්‍රියව තිබූ වාන් දොරටු හතරක් (04) නාවික හමුදා දායකත්වයෙන් 2021 මැයි මස 28 වන දින යළි යථාතත්ත්වයට පත් කිරීමට කටයුතු කෙරිණි.

ඉඟිනිමිටිය ජලාශයේ වාන් දොරටු ඔසවනු ලබන යාන්ත්‍රණය අක්‍රීයවීම හේතුවෙන් එම ජලාශය මගින් පානීය ජලය බෙදාහැරීම මෙන්ම යල සහ මහ කන්න දෙකෙහි ගොවිතැන් කටයුතු සඳහා නව ඉඩම් අක්කර 4600ක් ඇතුළු අක්කර 6539ක පමණ භූමි ප්‍රමාණයකට ජලය ලබා ගැනීම ද ඇනහිට තිබිණි. මෙම යාන්ත්‍රණය යථාතත්ත්වයට පත්කර ගැනීම සදහා සහය ලබා දෙන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව වෙතින් සිදු කළ ඉල්ලීමකට වහාම ප්‍රතිචාර දැක් වූ නාවික හමුදාව, වයඹ නාවික විධානයට අයත් කිමිදුම් කණ්ඩායමක් 2021 මැයි 24 දින ඉඟිනිමිටිය ජලාශයේ වාන් දොරටු එසවිමේ යාන්ත්‍රණය අළුත්වැඩියා කිරීමේ මෙහෙයුම සදහා ‍යොදවන ලදී.

පසු ගිය දින කිහිපය පුරා පැවති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ වුවද, දින 04ක අඛණ්ඩ කිමිදුම් මෙහෙයුමක් සිදු කර නාවික හමුදා කිමිදුම් කණ්ඩායම විසින් ජලාශය පතුලේ වාන් දොරටුව මතින් විසන්ධි වී තිබූ වාන් දොරටු ඔසවනු ලබන කේබලය නැවත සවි කරන ලදී. ඒ අනුව, නාවික හමුදාව මහත් පරිශ්‍රමයක් යොදා සිදු කළ කිමිදුම් මෙහෙයුම හේතුවෙන් එසවීමට නොහැකිව තිබූ වාන් දොරටු හතරක් (04) යළි එසවීමට හැකි වන පරිදි එම යාන්ත්‍රණය යථාතත්ත්වයට පත් කිරීමට හැකියාව ලැබිණි.

තවද, ඕනෑම හදිසි තත්ත්වයකදී සිය වෘත්තීය සහය ලබා දීමට නාවික හමුදාව නිරතුරුව සුදානමින් සිටී.