රුපියල් මිලියන 14 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට යන සිරස්තලය යටතේ 2021 මැයි 31 වන දින 0835 පැයට නිකුත් කළ පුවත හා සබැ‍ඳේ

ශ්‍රී ලංකා නාවික හමුදාව පේදුරුතුඩුව කොට්ටඩි වෙරළ ප්‍රදේශයේ 2021 මැයි 30 දින සිදු කළ විශේෂ රාත්‍රී පාමුර සංචාරයකදී කේරළ ගංජා කිලෝ 48 ග්‍රෑම් 900ක පමණ ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගත් අතර, එම ප්‍රදේශයේ අද (2021 මැයි 31) සිදු කළ වැඩි දුර පරීක්‍ෂාවේදී තවත් කේරළ ගංජා කිලෝ 31 ග්‍රෑම් 835ක පමණ ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

උතුරු නාවික විධානය මගින් කොට්ටඩි වෙරළ ප්‍රදේශයේ අද (2021 මැයි 31) සිදු කළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී වසා තිබූ ගොඩනැඟිල්ලක් පිටුපස පොලිතීන් උර 02ක් තුළ අසුරා තිබූ කේරළ ගංජා කිලෝ 31 ග්‍රෑම් 835ක පමණ ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගන්නා ලදී. පෙර දින නාවික හමුදාව සිදු කළ විශේෂ රාත්‍රී මුර සංචාරය හේතුවෙන් ජාවාරම් කරුවන් විසින් මෙම කේරළ ගංජා තොගය පසුව රැගෙන යාමේ අදහසින් මෙම ස්ථානයේ දමා යන්නට ඇතැයි සැක කෙරේ.

තවද, මෙම කේරළ ගංජා තොගයේ විථි වටිනාකම රු.මිලියන 9කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

කොව්ඩ් -19 ව්‍යාප්තිය වැළැක්වීමේ සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව සිදු කළ මෙම මෙහෙයුම මගින් නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා ප්‍රමාණය ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා පේදුරුතුඩුව පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

ඒ අනුව නාවික හමුදාව විසින් සිදු කල සමස්ථ මෙහෙයුම මගින් රු.මිලියන 24ක් පමණ වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 80 ග්‍රෑම් 735ක පමණ ප්‍රමාණයක් නීතියේ රැහැනට හසුකර දීමට හැකියාව ලැබිණි.