ගිනි ගැනීම‍ට ලක් වූ MV X-PRESS PEARL නෞකාවෙන් සිදු වූ පාරිසරික බලපෑම අධ්‍යනයට නාවික හමුදාවේ සහය

ශ්‍රී ලංකා නාවික හමුදා ජල ශාස්ත්‍රීය ඒකකය මගින් මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබන ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනයට (NARA) අයත් පර්යේෂණ නෞකාවක් වන ‘සමුද්‍රිකා’ (RV SAMUDRIKA) නෞකාව MV X-PRESS PEARL නෞකාවේ ඇති වූ ගින්න හේතුවෙන් සිදු වූ පාරිසරික බලපෑම අධ්‍යනය කිරීම සඳහා 2021 ජුනි 01 වන දින ආපදාවට පත් නෞකාව පිහිටි මුහුදු ප්‍රදේශයේ මුහුදු ජල සාම්පල ලබා ගැනීම සිදු කෙරිණි.

ශ්‍රී ලංකාවේ සාගරික පර්යේෂණ සිදු කරනු ලබන එකම පර්යේෂණ නෞකාව වන ‘සමුද්‍රිකා’ නෞකාවේ මෙහෙයුම් කටයුතු 2019 වර්ෂයේ පෙබරවාරි මස 28 සිට නාවික හමුදාව භාර ගැනීමෙන් පසුව, නාවික හමුදා ජල ශාස්ත්‍රීය ඒකකයේ නිලධාරින් සහ ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනයේ (NARA) විද්‍යාඥයින් එක්ව ගවේශන සහ පර්යේෂණ කටයුතු රැ‍සක් සිදු කරන ලදී. ඒ අනුව නාවික හමුදාව ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය සමඟ එක්ව සිදු කරනු ලබන නවතම සමුද්‍රීය පර්යේෂණය වන MV X-PRESS PEARL නෞකාවේ ගිනි ගැනීම හේතුවෙන් සිදු වූ පාරිසරික බලපෑම අධ්‍යනය කිරීමේ පර්යේෂණය 2021 ජුනි මස 01 දින ‘සමුද්‍රිකා’ නෞකාව මගින් ආරම්භ කෙරිණි.