තවත් වියලි කහ සහ ලොකු ළූණු බීජ ජාවාරමක්, සැකකරුවන් 06ක් සමග නීතීයේ රැහැනට

නාවික හමුදාව විසින් හලාවත වට්ටක්කල්ලිය කළපු ප්‍රදේශයේ 2021 ජුනි 02 වන දින සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ තවත් වියලි කහ කිලෝ 362 ග්‍රෑම් 950 සහ ලොකු ළූණු බීජ කිලෝ 571 ග්‍රෑම් 400 පමණ තොගයක් සමඟ සැකකරුවන් 06ක් නීතීයේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

නීති විරෝධී ජාවාරම් කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් යුතුව දිවයින වටා මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව, බටහිර නාවික විධානය මඟින් ශ්‍රි ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ හලාවත පොලීසිය සමඟ එක්ව හලාවත, වට්ටක්කල්ලිය කළපු ප්‍රදේශයේ 2021 ජුනි 02 සිදු කළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී කළපුව ඔස්සේ පැමිණි සැක කටයුතු ඩිංගි යාත්‍රා 02ක් මගින් ගොඩබාමින් තිබූ වියලි කහ කිලෝ 362 ග්‍රෑම් 950 සහිත උර 14ක්, ලොකු ළූණු බීජ කිලෝ 571 ග්‍රෑම්400 ක් අඩංගු උර 22 ක් සහ එම ඩිංගි යාත්‍රා දෙක(02) සමඟ එහි සිටි සැකකරුවන් හය (06) දෙනෙක් අත්අඩංගුවට ගන්නා ලදී.

තවද, නීති විරෝධී ලෙස ගෙන ආ වියලි කහ සහ ලොකු ළූණු බීජ තොගය රැගෙන යාමට පැමිණි බවට සැක කෙරෙන මෙම ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයින් දෙදෙනෙකු සහ කුඩා ලොරි රථයක් ද මෙහිදී අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

පවත්නා කොවිඩ් - 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබා දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සිදුකළ මෙ‍ම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 30ත් 50ත් අතර වයසේ පසුවන හලාවත සහ පන්නල ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලද අතර, අත්අඩංගුවටගත් වියලි කහ, ලොකු ළූණු බීජ, ඩිංගි යාත්‍රා දෙක (02), ලොරි රථය සහ සැකකරුවන් හය දෙනා (06) ඉදිරි නීතිමය කටයුතු සඳහා හලාවත පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.