ගං වතුරෙන් විපතටපත් ජනතාවට නාවික හමුදාවෙන් කඩිනම් සහන

දිවයිනේ ප්‍රදේශ ගණනාවකට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඇති වී තිබෙන ගං වතුර තත්ත්වයෙන් ආපදාවට පත් ජනතාවට සහන සැළසීම සඳහා මේ වන විට ගං වතුර අවධානම පැනනැගි ඇති බස්නාහිර සහ දකුණු පළාතේ ප්‍රදේශ ආවරණය වන පරිදි නාවික හමුදා සහන කණ්ඩායම් 13ක් යෙදවීමට නාවික හමුදාව කටයුතු කරන ලදී.

ඒ අනුව බස්නාහිර පළාතේ ගම්පහ හා කළුතර දිස්ත්‍රික්කය තුල ගංවතුර අවධානම පවතින ගම්පහ, රාගම, මහභාගේ, කැළණිය, බුලත්සිංහල සහ පරගොඩ යන ප්‍රදේශ වල මෙන්ම දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයන්ට අයත් තවලම, හිනිදුම, නාගොඩ, ඒප්පල, මාපලගම සහ අතුරලිය යන ප්‍රදේශ ආවරණය වන පරිදි නාවික හමුදා සහන කණ්ඩායම් යොමු කිරීමට කටයුතු කරන ලදී.

නාවික හමුදා සහන කණ්ඩායම් විසින් මේ වන විට (2021 ජුනි 04) ගම්පහ දිස්ත්‍රික්කයේ ගං වතුර තර්ජනයට ලක්ව ඇති ප්‍රදේශ රැසක ජනතාව මුදා ගැනීමේ සහ සහන සැලසීමේ මෙහෙයුම් සිදු කරමින් සිටී.

තවද, දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය මත ජනතාවට අවශ්‍ය සහන සැලසීම සඳහා අවශ්‍යතාවය මත ස්ථානගත කිරිමට නාවික හමුදාව විසින් තවත් අමතර සහන කණ්ඩායම් සුදානමින් තබා ඇත.