ආපදාවට පත් MV X-PRESS PEARL නෞකාවේ විමර්ෂණ කටයුතු සදහා නාවික හමුදාවේ සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සහය

කොළඹ වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 9.5ක් දුර මුහුදේ නැංගුරම් ලා තිබියදි ගිනි ගැනීමක් හේතුවෙන් අනතුරටපත් MV X-PRESS PEARL නෞකාව පිහිටි මුහුදු ප්‍රදේශය වෙත අනතුර සම්බන්ධයෙන් ඉදිරි විමර්ෂණ කටයුතු සිදු කරනු ලබන රජයේ විමර්ෂණ කණ්ඩායමක් ශ්‍රි ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් ‘සමුද්‍රාරක්‍ෂා’ නෞකාව මගින් රැගෙන යාමට අද (2021 ජුනි 04) කටයුතු කෙරිණි.

MV X-PRESS PEARL නෞකාව ගිනි ගැනීම හේතුවෙන් සාගර පරිසරයට සිදු වි ඇති බලපෑම සොයා බැලීම සදහා මුහුදු ජල නියැදීන් ලබා ගැනීම සහ ස්ථානීය නිරික්‍ෂණ කටයුතු සිදු කිරිම සදහා, විමර්ෂණ කණ්ඩායමක් නෞකාව පිහිටි මුහුදු ප්‍රදේශයට රැගෙන යාමට පහසුකම් සලසන මෙන් අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් නාවික හමුදාවෙන් ඉල්ලීමක් සිදු කරන ලදී. ඒ අනුව, අනතුර සම්බන්ධ ඉදිරි විමර්ෂණ කටයුතු සිදු කරනු ලබන රජයේ රස පරික්‍ෂක දෙපාර්තමේන්තුවේ විශේෂඥ නිලධාරින්ගෙන් යුත් දාහතර (14) දෙනෙකුගෙන් සමන්විත මෙම විමර්ෂණ කණ්ඩායම ශ්‍රි ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් ‘සමුද්‍රාරක්‍ෂා’ නෞකාව මගින් මෙලෙස අද දින රැගෙන යාමට නාවික හමුදාව කටයුතු කරන ලදි.