‘නාවික සැතපුම් 345ක් දුර මුහුදේ අනතුරට පත් ධීවරයෙකු ප්‍රතිකාර සදහා රැගෙන ඒමට නාවික හමුදා සහය’ යන සිරස් තලය යටතේ 2021 ජුනි මස 04 වන දින නිකුත් කළ පුවත හා සබැ‍ඳේ

ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් මහා රාවණා ප්‍රදීපාගාරයේ සිට (Great Basses) නාවික සැතපුම් 345ක් පමණ (කිලෝ මීටර් 638ක් පමණ) දුර ගැඹුරු මුහුදේදී මෙරට බහුදින යාත්‍රාවක සිදු වූ හදිසි අනතුරක් හේතුවෙන් තුවාල ලබා ආසාද්‍ය තත්ත්වයේ සිටි ධීවරයා ගොඩබිමට රැගෙන විත් කඩිනමින් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදාව අද (2021 ජුනි 05) කටයුතු කරන ලදී.

ගැඹුරු මුහුදේ දී සිදු වූ හදිසි අනතුරක් හේතුවෙන් පාදයකට දැඩි ලෙස හානි වී ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ ‘දු භාෂි’ නැමැති බහු දින ධීවර යාත්‍රාවට (ලියාපදිංචි අංක IMUL-A-0928 MTR) අයත් මෙම ධීවරයා පෙර දින (2021 ජුනි 04) උදෑසන 1130ට පමණ එම ධීවර යාත්‍රාව තිබූ ගැඹුරු මුහුදු ප්‍රදේශයේදී ශ්‍රිලංනානෞ ‘සයුර’ නෞකාව වෙත රැගෙන ප්‍රථමාධාර ලබා දෙමින් ගොඩබිම වෙත යාත්‍රා කිරීම ආරම්භ කරන ලදී.

ඒ අනුව, ආසාද්‍ය තත්ත්වයේ පසු වූ එම ධීවරයා රැගත් ශ්‍රිලංනානෞ ‘සයුර’ නෞකාව අද (2021 ජුනි 05) දහවල් වන විට ගොඩබිම ආසන්නයට ලඟා වීමෙන් පසු දෙවුන්දර තුඩුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී වේග ප්‍රහාරක යාත්‍රාවකට මාරු කර කඩිනමින් ගාල්ල වරාය වෙත රැගෙන විත් ප්‍රතිකාර සඳහා ගාල්ල, කරාපිටිය රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කරන ලදී.