මුහුදේදී අසාධ්‍ය තත්වයට පත් තවත් ධීවරයෙකු ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහය

බේරුවලට නිරිත දෙසින් නාවික සැතපුම් 85ක් පමණ (කිලෝ මීටර් 157ක් පමණ) දුරින් වු ගැඹුරු මුහුදු ප්‍රදේශයේ දී ඇතිවු හදිසි රෝගී තත්වයක් හේතුවෙන් අසාධ්‍ය වූ තවත් ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සදහා යොමු කිරිමට නාවික හමුදාව අද (2021 ජුනි 07) කටයුතු කරන ලදී.

බේරුවල ධීවර වරායෙන් 2021 ජුනි මස 01 වන දින ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ඇති ධීවරයින් හය දෙනෙකුගෙන් (0‍6) සමන්විත ‘දේශි’ නැමැති බහු දින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු රෝගි තත්ත්වයක් හේතුවෙන් ඉතා අසාධ්‍ය තත්වයෙන් පසු වන බවට ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදා මුලස්ථානයේ පිහිටි සාගරික මුදවා ගැනීම් හා සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත දැනුම් දෙන ලදි.

ඒ අනුව, එම දැනුම් දීමට වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, අසාධ්‍ය තත්ත්වයේ සිටි එම ධීවරයා රැගෙන ඒම සදහා ශ්‍රි ලංකා නාවික නෞකා ‘සයුර’ නෞකාව එම ධීවර යාත්‍රාව තිබූ මුහුදු ප්‍රදේශයට යොමු කරන ලද අතර, අසාධ්‍ය තත්ත්වයේ සිටි ධීවරයා වෙත ප්‍රථමාධාර ලබා දෙමින් ‘සයුර’ නෞකාව මගින් ගාලු වරායට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයට ලඟා වීමෙන් පසු, වේග ප්‍රහාරක යාත්‍රාවකට මාරු කර කඩිනමින් ගාල්ල වරාය වෙත රැගෙන විත් ප්‍රතිකාර සඳහා ගාල්ල, කරාපිටිය රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

තවද, ශ්‍රී ලංකාවට අයත් සාගරික සෙවීම් හා මුදවා ගැනීම් කලාපය තුළ ආපදාවට පත් වන නාවික හා ධීවර ප්‍රජාවට සහන සැලසීම සඳහා නාවික හමුදාව නිරත්නතර සුදානමෙන් සිටී.