නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සහ කළ බීඩි කොළ සහ වියලි කහ සමඟ සැකකරුවකු නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් මන්නාරම, වංකාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සහ කළ බීඩි කොළ (Kendu Leaves) කිලෝග්‍රෑම් 514 ක පමණ ප්‍රමාණයක් සහ වියලි කහ කිලෝග්‍රෑම් 70ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවකු (01) නාවික හමුදා භාරයට ගැනීමට අද (2021 ජුනි මස 08) දින කටයුතු කෙරිණි.

මුහුදු මාර්ගයෙන් සිදුවන නීති විරෝධී ජාවාරම් මැඩපැවැත්වීම සඳහා වෙරළ කලාපය ආවරණය වන පරිදි නාවික හමුදාව මුර සංචාර වැඩි කිරීමට පියවර ගෙන ඇති අතර, නිරත්තර මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව, උතුරු මැද නාවික විධානය මගින් අද (ජුනි 08) මන්නාරම, වංකාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස රැගෙනවිත් වෙරළට ආසන්න ලදු කැලෑවක් තුළ සඟවා තිබූ පොලිතීන් උර 17 ක් තුළ අසුරන ලද බීඩි කොළ (Kendu Leaves) කිලෝග්‍රෑම් 514 ක පමණ ප්‍රමාණයක් සහ පොලිතීන් උර 02ක අසුරන ලද වියලි කහ කිලෝග්‍රෑම් 70ක පමණ ප්‍රමාණයක් සමඟ මෙම ජාවාරමට සම්බන්ධ සැකකරුවකු (01) නාවික හමුදා භාරයට ගන්නා ලදී.

පවතින කොවිඩ් - 19 ව්‍යාප්තිය වැළැක්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදුකළ මෙ‍ම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරු වයස අවුරුදු 41ක් වන එරුක්කුලම්පිඩ්ඩි ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හදුනාගන්නා ලද අතර, අදාල සැකකරු, බීඩි කොළ සහ වියලි කහ ඉදිරි විමර්ශණ කටයුතු සඳහා වංකාලේ පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.