නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 4040 ක් සමඟ සැකකරුවන් 45ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2021 අප්‍රේල් මස සිට මේ දක්වා (2021 ජුනි 05) උතුරු සහ උතුරු මැද නාවික විධානයන්හි සිදුකළ සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 4040 ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 45ක් සහ කිමිදුම් උපකරණ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙරට මුහුදු සීමාව තුළ ධීවර කර්මාන්තයේ නියැලෙන ඇතැම් පිරිස් විසින් සිදුකරනු ලබන නීති විරෝධි ධීවර කටයුතු හේතුවෙන් සාගරික පරිසරයට සිදු වන අහිතකර බලපෑම වැලැක්වීම සඳහා නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව, උතුරු මැද නාවික විධානය විසින් වලෙයිපාඩු මුහුදු ප්‍රදේශයේ සහ කිරන්චි ප්‍රදේශයේත්, උතුරු නාවික විධානය මඟින් වෙත්තලකේනි, නගර්කෝවිල් සහ පේදුරුතුඩුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍ර‍දේශයේත් සිදු කළ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 4040ක පමණ ප්‍රමාණයක්, පුද්ගලයින් 45ක්, ධීවර යාත්‍රා 14ක්, කැබ් රථයක් සහ කිමිදුම් උපකරණ නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සිදු කළ මෙම මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 23 ත් 57 ත් අතර වයසේ පසුවන කල්පිටිය, වංකාලේ, වෙත්තලකේනි, මන්නාරම, පූනරීන්, නොරෝච්චෝලේ, අලියාවලෙයි, පල්ලවරායන්කට්ටු, කුමුලමුනයි, වෙරවිල් සහ මුල්ලියන් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලද අතර, එම සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා කිළිනොච්චි සහ යාපනය ධීවර පරීක්‍ෂක කාර්යාල වෙත භාරදීමට කටයුතු කරන ලදි.