නීති විරෝධී ලෙස රැගෙන ආ වියලි කහ සහ බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (2021 ජුනි 16) උදෑසන මන්නාරම, කොන්තපිඩ්ඩි සහ සිලාවතුර, අරිප්පු යන වෙරළ ප්‍රදේශයන්හි සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද වියලි කහ කිලෝග්‍රෑම් 370කට අධික ප්‍රමාණයක් සමඟ එම ජාවාරමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ බීඩි කොළ (Kendu Leaves) කිලෝග්‍රෑම් 294කට අධික ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ගයෙන් සිදු කෙරෙන නීති විරෝධී ජාවාරම් මැඩපැවැත්වීම සඳහා දිවයින වටා වෙරළ කළාපය ආවරණය වන පරිදි නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදුකරනු ලබයි. ඒ අනුව, උතුරු මැද නාවික විධානය විසින් මන්නාරම කොන්තපිඩ්ඩි වෙරළ ප්‍රදේශයේ අද (2021 ජුනි 16) උදෑසන සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී එම ප්‍රදේශයේ සැකකටයුතු ලෙස හැසිරුණු පුද්ගලයින් දෙදෙනෙකු (02) නිරීක්‍ෂණය කර සිදුකළ වැඩිදුර පරීක්‍ෂාවේදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ගොඩබිමට රැගෙන ඒමට උත්සාහ කළ උර 13ක අසුරන ලද වියලි කහ කිලෝ 370 ග්‍රෑම් 600ක පමණ ප්‍රමාණයක් සමඟ එම සැකකරුවන් දෙදෙනා නාවික හමුදා භාරයට ගන්නා ලදී.

තවද, වයඹ නාවික විධානය මඟින් අද (2021 ජුනි 16) උදෑසන අරිප්පු වෙරළ තීරයේ සිදුකළ මුර සංචාරයකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ගොඩබිමට රැගෙන ඒමට උත්සාහ කළ උර 03ක අසුරන ලද බීඩි කොළ (Kendu Leaves) කිලෝ 294 ග්‍රෑම් 100ක පමණ ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි විය.

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සිදුකරන ලද මෙම මෙහෙයුම් මගින් කොන්තපිඩ්ඩි ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 33 සහ 37 යන වයසේ පසුවන මන්නාරම පල්ලේමුණේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, ඔවුන් නිරෝධායනය සඳහා මන්නාරම මහජන සෞඛ්‍ය පරීක්‍ෂක වෙත භාරදීමට කටයුතු කරන ලදී. තවද, නාවික හමුදා භාරයට ගත් වියලි කහ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය රේගු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කළ අතර, බීඩි කොළ (Kendu Leaves) තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තෙක් නාවික හමුදා භාරයේ තැබීමට කටයුතු කෙරිණි.