රුපියල් මිලියන 39 කට ආසන්න වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 02ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව කයිට්ස්, කරම්පන් වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින් කේරල ගංජා කිලෝ 130යි ග්‍රෑම් 760ක පමණ ප්‍රමාණයක් සමඟ ඩිංගි යාත්‍රාවක් සහ සැකකරුවන් දෙදෙනෙකු (02) 2021 ජුනි17 දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ගයෙන් සිදුකෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව විසින් වෙරළ කලාපය ආවරණය වන පරිදි මුර සංචාර වැඩිකරමින් නිරන්තර මෙහෙයුම් සිදුකරනු ලබයි. ඒ අනුව, උතුරු නාවික විධානය මගින් 2021 ජුනි 17 වන දින රාත්‍රී කාලයේ කයිට්ස් දූපතේ කරම්පන් වෙරළ ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ මෙහෙයුමේදී කරම්පන් වෙරළට පැමිණි සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් පරික්‍ෂාවට ලක් කර, එහි රැගෙන එනලද කේරළ ගංජා සහිත පාර්සල් හතරක් (04) සොයා ගන්නා ලද අතර, ඒ අනුව එම ඩිංගි යාත්‍රාවේ සිටි සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ඩිංගි යාත්‍රා‍ව නාවික හමුදා භාරයට ගන්නා ලදී.

තවද, මෙම කේරළ ගංජා තොගයේ වීථි වටිනාකම රුපියල් මිලියන 39 කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

කොව්ඩ් -19 ව්‍යාප්තිය වැළැක්වීමේ සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව සිදුකළ මෙම මෙහෙයුම මගින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් දෙදෙනා (02) වයස අවුරුදු 26ත් 31ත් අතර වයසේ පසුවන පේසාලේ සහ කයිට්ස් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, මෙම සැකකරුවන්, කේරළ ගංජා සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කයිට්ස් පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.