හලාවත මුහුදු තීරයෙන් තවත් කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව හලාවත, මුක්කු තොඩුවාවට ඔබ්බෙන් වූ වෙරළ තීරයේ අද (2021 ජුනි 20) සිදුකළ තවත් විශේෂ සෝදිසි මෙහෙයුමකදී වෙරළ තීරයේ පාවෙමින් තිබූ කේරළ ගංජා කිලෝ 23කට අධික ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

වයඹ නාවික විධානය මඟින් අද (2021 ජුනි 20) දින හලාවත, මුක්කු තොඩුවාව වෙරළ තීරයේ සිදු කළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී මුහුදේ පාවෙමින් තිබූ ගෝනි උරයක් නීරීක්‍ෂණය කර පරීක්‍ෂා කිරීමේදී එහි පාර්සල් 10 ක් වශයෙන් අසුරා තිබූ කේරළ ගංජා කිලෝ 23 ග්‍රෑම් 100ක පමණ ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. ඒ අනුව 2021 ජුනි 18, 19 සහ 20 යන දිනයන් තුල පමණක් හලාවත මුහුදු ප්‍රදේශයෙන් කේරළ ගංජා කිලෝ 308 කට ආසන්න ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

‍‍‍තවද, හලාවත මුහුදු ප්‍රදේශය ඔස්සේ සිදුවන මෙම කේරළ ගංජා ජාවාරමට සම්බන්ධ ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා නාවික හමුදාව, හලාවත පොලීසිය හා එක්ව වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටී.