නාවික සේවය ඉක්මවන, සොඳුරු හදවත්

හමුදා පුද්ගලයෙකු කියූ පමණින් අප සිහියට නැගෙනුයේ රළු ගති පැවතුම් සහිත ඉතා තදින් හැසිරෙන දෘඩ පෞරුෂයකින් හෙබි පුද්ගලයෙකි. නමුත් එම සෑම පෞර්ෂයක් තුළම සොඳුරු හදවතක් ඇති බව නම් සත්‍යකි. වසර 33 ක නාවික හමුදා සේවයට සමුදුන්, රියර් අද්මිරාල් අනුර ධනපාල ද ගහ කොළ සතා සිවුපාවා කෙරෙහි ඉමහත් ලෙන්ගතුකමක් දැක්විය. පහත දැක්වෙන්නේ ඔහු නැගෙනහිර නාවික විධාන නියෝජ්‍ය ආඥාපති ධූරය දැරූ කාල සීමාව තුළ වූ සිදුවීම් දෙකකි. විලෝපික සතුන්ගේ ගොදුරු බවට පත්වී මිලින වන්නට ඉඩහසර තිබූ අසරණ සතුන් ආරක්ෂා කිරීමට, රියර් අද්මිරාල් අනුර ධනපාල තම නාවික පිරිස සූදානම් කරමින් ප්‍රශංසනීය කාර්යභාරයක් ඉටු කරමින් සිටියේය.

වන සතුන්ට සිදුවන ඛේදවාචකයන් ගැන අපට හමු වන බොහෝ කථා අතර, මාස කිහිපයකට පෙර නාවික තටාකාංගනයේ උපත ලැබූ ‘ස්කූබා’ නම් මුව පැටවකුගේ කතාව, ත්‍රිකුණාමලය නාවික තටාකාංගන පරිශ්‍රයේ නාවික හදවත් තුළ අනුකම්පාව ඇති කළේය. ත්‍රිකුණාමලයේ නාවික තටාකාංගන පරිශ්‍රයේ වන ලැහැබින් හැඩවූ නිකල්සන් කෝව් පිවිසුම් දොරටුව අසල වෙරළ තීරයේ කිසියම් හේතුවක් නිසා තුවාල ලැබූ මුව දෙනක් (ස්කූබාගේ මව) අපහසුවෙන් ඔබ මොබ සැරිසරමින් සිටියේය. අවාසනාවට ඇය සිටි දෙසට නාවික තටාකාංගන භූමියේ සැරිසරන සුනඛයින් රංචුවක් දිව එන්නට විය. ඉන් බියට පත් අසරණ මුව දෙන විදුලි වේගයෙන් දිවීමට පටන් ගත්තේය. මුව දෙන සිටි ස්ථානය අනුව සුනඛයින්ගෙන් බේරී පලා යාමට නම් මුහුදට පැන දිවිගලවා ගැනීම හැර වෙනත් විකල්පයක් ඇය සතුව නොතිබුණි. ඇය එක්වරම මුහුදට පැන පීනන්නට පටන්ගත්තද වැඩි වේලාවක් සිය ශක්තිය ඒ සඳහා යොදවන්නට ඇයට නොහැකි විය. මුහුදේ තිබූ රළු ස්වාභාවය හේතුවෙන් ඇය තව තවත් වෙහෙසට පත් කරමින් ප්‍රබල රැලි එකපිට එක ඇදෙන්නට විය.

ඒ අවස්ථාවේ අසල කිමිදුම් අභ්‍යාසයක නියැලෙමින් සිටි නාවික හමුදා කිමිදුම්කරුවන් පිරිසක් මුව දෙනක ජල රළ සමඟ සටන් කරමින්, ජීවිතය සමඟ පොරබදමින් සිටින බව දුටුවේ වාසනාවකට මෙනි. ඔවුන් වහා එම ස්ථානය වෙත ලඟා විය. ඇයව බේරා ගැනීමට කටයුතු කළත් එය එතරම් පහසු කාර්යක් නොවු‍ණේ, මුව දෙන නොසෑහෙන ලෙස භීතියට පත්ව සිටි බැවිනි. කෙසේ වෙතත්, නාවික භටයින්ට ඇයව බෝට්ටුව තුළට නංවා ගැනීමට හැකි වූ අතර, සුනඛයින් සපා කෑමෙන් ඇති වූ තුවාල සඳහා ප්‍රතිකාර කිරීමට ඇයව කඩිනමින් නාවික හමුදා වෛද්‍යවරුන් වෙත ගෙන ගියේය. ප්‍රතිකාර ලබා දීමෙන් අනතුරුව, සුවය ලබන තෙක් ඇය ආදරයෙන් රැකබලා ගත්තේය. නොබෝ දිනකට පසු සෑම කෙනෙකුම පුදුම කරමින් ඇය හුරුබුහුටි කුඩා මුව පැටවෙකු බිහි කළාය. මේ සොඳුරු නාවිකයින් මුව පැටවාට ‘ස්කූබා’ ලෙස නම් තැබීය. දින කිහිපයකට පසු මුව දෙන සහ මුව පැටවා වනාන්තරය බලා ඇදීගියේ නාවිකයින් සමඟ ගතකළ මතකයන් පමණක් ඉතිරි කරමිනි.

මෙම සිදුවීමද නාවික තටාකාංගනයේම සිදු වූ තවත් සිත්ගන්නාසුලු කතාවකි. මීට මාස කිහිපයකට පෙර, නාවික තටාකාංගනයේ සැරිසැරූ තුවාල ලබා අසරණව සිටි ගෝන පැටවෙකු සහ එම පැටවාගේ ආදරණිය මව පිළිබඳ තොරතුරු දැනගන්නට ලැබිණි. පසුව විශේෂ යාත්‍රා බලඝන කණ්ඩායමක් සහ වෛද්‍ය නිලධාරීන් ඔවුන් සොයා ගැනීමට මහත් පරිශ්‍රමයක නිරත වූ අතර විශාල ගවේෂණයකින් පසුව දෙදෙනා එලිෆන්ට් පොයින්ට් වන ලැහැබ තුළින් සොයා ගැනීමට ඔවුන්ට හැකි විය. මෙම අලුත උපන් ගෝන පැටවා වළලුකරෙහි ඇතිවූ තුවාලයක් හේතුවෙන් ඇවිදීමට අපහසුව අසරණව සිටියේය. ගෝන පැටවාට ඉක්මනින් ප්‍රතිකාර කළ යුතු බව දැනුණු නාවිකයින්, එම පැටවා ඉතා ආරක්ෂිතව අල්ලාගෙන තටාකාංගන රෝහල අසල තාවකාලික ස්ථානයක රඳවා ගෙන ප්‍රතිකාර කිරීම ආරම්භ කළහ. සුළු මොහොතකට පසුව අමුතු නුහුරු දසුනක් වෙත සෑම කෙනෙකුගේම දෑස් රැඳී තිබිණි. ගෝන පැටවා ගේ දෙපා සුවපත් කරලනු පිණිස වෙරදරන වෛද්‍ය වරුන්ගේ ප්‍රතිකාර බලමින් ගෝන මව ඒ අසල රැ‍ඳෙමින් මුළු සැත්කමම බලා සිටියේය. නාවිකයින්ගෙන් පිරිණු මෙම පරිශ්‍රයේ, සැත්කම සිදුකරනු ලැබූ කාලය මුළුල්ළේම ගෝන මව තම දරුවා ගෙන් ඇසිල්ලකට හෝ ඉවතට නොයා එදෙස නෙත් යොමා සිටියේ උත්තම මාතෘත්වය පිළිබඳ ගුණාංග සත්වලෝකයට ද පොදු බව පසක් කිරීමට මෙනි. හෝරා දෙකක පමණ ප්‍රතිකාර වලින් අනතුරුව ගෝන පැටවා සහ මව මුදාහැරීමට නාවිකයින්ට හැකියාව ලැබිණි. මෙම සුවිශේෂී සිදුවීම දෙස නෙත් යොමා සිටි කාගේත් හදවත් මොහොතකට සංවේදී කිරීමට තරම් ප්‍රබල වූ සිදුවීමක් වූ බව කිව යුතුවේ. සුවය ලැබූ ගෝන පැටවා නාවික තටාකාංගන පරිශ්‍රයේ ඔබ මොබ සැරිසරනු දැකීමට හැකි වූයේ සොඳුරු මිනිසුන්ගේ සංවේදී හදවත් තුළ ගැබ්ව තිබූ මනුෂ්‍යත්වය හේතුවෙන් බව කෙලෙස නම් සැඟවිය හැකිද?