රුපියල් මිලියන 32 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමග සැකකරුවෙකු වෙත්තලකේණි ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2021 ජූලි 22 දින වෙත්තලකේනි, කඩේයිකාඩු වෙරළ ප්‍රදේශයේ සිදුකරන ලද විශේෂ පාමුර සංචාරයකදී කේරළ ගංජා කිලෝ 107 ග්‍රෑම් 840 ක පමණ ප්‍රමාණයක් සමග සැකකරුවෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

උතුරු නාවික විධානයට අයත් වෙත්තලකේණි නාවික අණුඛණ්ඩය මගින් 2021 ජූලි මස 22 දින කඩේයිකාඩු වෙරළ ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ පාමුර සංචාරයේදී, අසල ලඳු කැලෑවට පැනයාමට උත්සහ කළ සැකකටයුතු පුද්ගලයෙකු පරීක්ෂා කර ඔහු සතුව තිබී කේරළ ගංජා සහිත පාර්සල් 16 ක ප්‍රමාණයක් සොයාගන්නා ලදී. එම සැකකරුගෙන් සිදු කල වැඩි දුර ප්‍රශ්ණ කිරීමේදී ලද තොරතුරකට අනුව, එම ප්‍රදේශයේ නිවසක් අසල සඟවා තිබූ තවත් කේරළ ගංජා සහිත පාර්සල් 24ක්‌ සොයාගන්නා ලදී. අනතුරුව සැකකරු සමග කිලෝ 107 ග්‍රෑම් 840ක පමණ වූ පාර්සල් 40ක අසුරා තිබූ කේරල ගංජා තොගය නාවික හමුදා භාරයට ගන්නා ලදි.

තවද, නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ වීථි වටිනාකම රුපියල් මිලියන 32 කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

කොව්ඩ් -19 ව්‍යාප්තිය වැළැක්වීමේ සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව සිදුකළ මෙම මෙහෙයුම මගින් නාවික හමුදා භාරයට ගත් සැකකරු වයස අවුරුදු 33ක්‌ වන මුල්ලියාන් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවට හඳුනාගන්නා ලද අතර, සැකකරු සහ කේරල ගංජා තොගය ඉදිරි විමර්ශණ කටයුතු සඳහා මරුදන්කේණි පොලිසිය වෙත භාර දිමට කටයුතු කෙරිණි.