රුපියල් මිලියන 125 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 03ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය මාදගල් සිට පේදුරුතුඩුව දක්වා වූ මුහුදු ප්‍රදේශයේ 2021 ජූලි 27 වන දින රාත්‍රියේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 417යි ග්‍රෑම් 200ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

උතුරු නාවික විධානයට අනුයුක්ත හතරවන වේග ප්‍රහාරක මුර යාත්‍රා බලඝණයට අයත් පී 483 වේග ප්‍රහාරක යාත්‍රාව සමඟ පී 177 හා පී 178 යන වෙරළබඩ මුර යාත්‍රාවන් යොදා ගනිමින් 2021 ජූලි 27 වන දින යාපනය මාදගල් ප්‍රදේශයේ සිට පේදුරුතුඩුව දක්වා වූ මුහුදු ප්‍රදේශයේ උතුරු නාවික විධානය විසින් මෙම විශේෂ සෝදිසි මෙහෙයුම සිදු කරන ලදී. එහිදී පී 177 යාත්‍රාව මඟින් සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්‍ෂා කිරීමට යාමේදී එම සැකකටයුතු යාත්‍රාව මඟින් මලු කිහිපයක් මුහුදට දමා පලා යාම‍ට උත්සාහ කරන ලද අතර, පී 177 යාත්‍රාව සැකකටයුතු ඩිංගි යාත්‍රාව හඹා ගොස් සැකකරුවන් තිදෙනෙකු සමඟ එම යාත්‍රාව නාවික හමුදා භාරයට ගන්නා ලදී.

තවද, ශ්‍රී ලංකා නාවික නෞකා අග්බෝ ආයතනය විසින් කුඩා යාත්‍රා යොදවා මාදගල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ වැඩිදුර සෝදිසි මෙහෙයුමක් මඟින් සැකකටයුතු ඩිංගි යාත්‍රාවෙන් මුහුදට දමා තිබූ පොලිතීන් මලු 08ක පාර්සල් 125ක් වශයෙන් අසුරන ලද කේරළ ගංජා කිලෝ 417යි ග්‍රෑම් 200ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගන්නා ලදී. මෙලෙස නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ වීථි වටිනාකම රුපියල් මිලියන 125 කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

කොව්ඩ් -19 ව්‍යාප්තිය වැළැක්වීමේ සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව සිදුකළ මෙම මෙහෙයුම මගින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් තිදෙනා (03) වයස අවුරුදු 20ත් 40ත් අතර වසේ පසුවන තොන්ඩමන්ආරු සහ ගුරුනගර් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, මෙම සැකකරුවන්, කේරළ ගංජා සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉලවාලි පොලීසිය වෙත භාර දීමට නියමිතව ඇත.