නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ‍රැගෙන ඒමට උත්සාහ කළ රුපියල් මිලියන 16කට අධික වටිනාකමින් යුත් වියලි මුහුදු කූඩැල්ලන් තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය කීරිමූන්දලම වෙරළ තීරයේ අද (2021 අගෝස්තු 04) දින සිදුකල විශේෂ ‍සෝදිසි මෙහෙයුමක් මගින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 820ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 07 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කරනු ලබන නීති විරෝධී ජාවාරම් මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව, වයඹ නාවික විධානය මගින් අද (2021 අගෝස්තු 04) දින කල්පිටිය කීරිමූන්දලම වෙරළ තීරයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී සැකකටයුතු ඩිංගි යාත්‍රාවන් දෙකක් (02) පරීක්‍ෂාවට ලක් කර එම ඩිංගි යාත්‍රා තුල තිබූ උර 16 ක අසුරන ලද වියලි මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 820ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු (04) සහ එම ඩිංගි යාත්‍රාවන් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදී. තවද, මෙම මුහුදු කූඩැල්ලන් තොගය රැගෙන යාම සදහා එම වෙරළ තීරයට පැමිණ සිටි තවත් සැකකරුවන් තිදෙනෙකු (03) සහ ලොරි රථයක්ද මෙහිදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙහිදී නාවික හමුදා භාරයට ගත් වියලි මුහුදු කූඩැල්ලන් තොගයේ වෙළඳපල වටිනාකම රුපියල් මිලියන 16කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝප‍දේශ අනුගමනය කරමින් සිදු කරන ලද මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 26ත් 44ත් අතර වයසේ පසුවන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලද අතර, එම සැකකරුවන්, වියලි මුහුදු කූඩැල්ලන් තොගය, ඩිංගි යාත්‍රා සහ ලොරි රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට නියමිතව ඇත.