නීති විරෝධී ලෙස මුහුදු මඟින් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝ 5300කට අධික තොගයක් නීතියේ රැහැනට

හලාවත තුඩුවට ඔබ්බෙන් වූ මුහුදේදී නීති විරෝධී ලෙස අන්තර්ජාතික මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයට ඇතුල් වූ වියලි කහ කිලෝග්‍රෑම් 5300කට අධික තොගයක් සහිත ඉන්දීය ඩව් (Dhow) යාත්‍රාවක් 2021 අගෝස්තු 07 වන දින ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් ශ්‍රීලංකා වෙරළ ආරක්‍ෂක සුරක්‍ෂා නෞකාව මඟින් 2021 අගෝස්තු 07 වන දින උදෑසන හලාවත තුඩුවට ඔබ්බෙන් වූ මුහුදේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදී අන්තර්ජාතික මුහුදු සීමාව (IMBL) උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයට ඇතුල් වූ සැකකටයුතු ඉන්දීය ඩව් (Dhow) යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කරන ලදී. එහිදී එම යාත්‍රාවේ තිබූ නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ උර 143ක අසුරන ලද වියලි කහ කිලෝග්‍රෑම් 5372ක පමණ තොගයක් (තෙත බර සහිත) සමඟ එම යාත්‍රාවේ සිටි ඉන්දීය ජාතිකයින් පස් දෙනෙකු (05) ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව භාරයට ගන්නා ලද අතර, මෙම ඉන්දීය ඩව් යාත්‍රාව මඟින් රැගෙන එන ලද වියලි කහ මුහුදේදී මෙරට යාත්‍රාවන්ට හුවමාරු කර ගොඩබිමට රැගෙන ඒමට ජාවාරම්කරුවන් සැළසුම් කර තිබෙන්නට ඇතැයි සැක කෙරේ.

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් සිදු කරන ලද මෙම මෙහෙයුම මගින් අත්අඩංගුවට ගත් වියලි කහ විෂබීජහරණය කිරීමෙන් පසු ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කරන තෙක් ශ්‍රී ලංකා නාවික හමුදාව භාරයේ තබා ඇති අතර, පවතින කොවිඩ් 19 වෛරස ව්‍යාප්තියේ අවධානම සැළකිල්ලට ගනිමින් ඉන්දීය ජාතිකයින් පස් දෙනා (05) සමඟ එම ඩව් යාත්‍රාව මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පිටත්කර හැරීමට කටයුතු කරන ලදී.

අන්තර් ජාතික මුහුදු සීමාව හරහා සිදු කරනු ලබන මෙවැනි ජාවාරම් මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව දිවයින වටා වූ මුහුදු තීරය ආවරණය වන පරිදි අඛණ්ඩ මුර සංචාර ඉදිරියටත් සිදු කරනු ලබයි.