රුපියල් මිලියන 39 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා සමඟ සැකකරුවන් 02ක් මන්නාරමේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම ඉලුප්පුකඩවායි ප්‍රදේශයේ අද (2021 අගෝස්තු 10) අළුයම සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 131යි ග්‍රෑම් 725ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ලොරි රථයක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව විසින් දිවයින වටා මුහුදු තීරය මෙන්ම වෙරළාශ්‍රිත කලාපය ආවරණය වන පරිදි නිරන්තර මෙහෙයුම් සිදුකරනු ලබයි. ඒ අනුව, උතුරු මැද නාවික විධානය සහ මන්නාරම පොලිසිය එක්ව අද (2021 අගෝස්තු 10) අළුයම මන්නාරම ඉලුප්පුකඩවායි ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, මත්ස්‍යන් ප්‍රවාහනය සඳහා භාවිතා කරනු ලබන ශීතකරණ පහසුකම් සහිත සැකකටයුතු ලොරි රථයක් (Refrigerator truck) පරික්‍ෂාවට ලක් කර, එම ලොරි රථය තුල සූක්ෂම ලෙස ගමන්මළු 07ක පාර්සල් 60 ක් වශයෙන් අසුරන ලද කේරළ ගංජා කිලෝ 131යි ග්‍රෑම් 725ක පමණ තොගයක් සොයා ගැනීමට හැකි විය. ඒ අනුව එම ලොරි රථයේ ගමන් ගත් සැකකරුවන් දෙදෙනෙකු (02), කේරළ ගංජා තොගය සහ ලොරි රථය අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගයේ වීථි වටිනාකම රුපියල් මිලියන 39 කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

කොව්ඩ් -19 ව්‍යාප්තිය වැළැක්වීමේ සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව සිදුකළ මෙම මෙහෙයුම මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා (02) වයස අවුරුදු 36 සහ 40 යන වයස්වල පසුවන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, මෙම සැකකරුවන්, කේරළ ගංජා සහ ලොරි රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.