රුපියල් මිලියන 41කට අධික විථි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමග සැකකරුවන් 02ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් පේදුරුතුඩුව මනල්කාඩු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද (2021 අගෝස්තු 26) අළුයම සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 139 ග්‍රෑම් 930ක පමණ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් යුතුව සිටිමින් මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව, උතුරු නාවික විධානය මඟින් පේදුරුතුඩුව මනල්කාඩු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිට ගොඩබිම දෙසට අද (2021 අගෝස්තු 26) අළුයම යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පී 177 වෙරළබඩ මුර යාත්‍රාව යොදවා එම මුහුදු ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කරන ලදී. මෙම සෝදිසි මෙහෙයුමේදී පී 177 යාත්‍රාව මඟින් සැකකටයුතු ඩිංගි යාත්‍රාව පරීක්‍ෂා කිරීමට යාමේදී සැකකටයුතු ලෙස උර කිහිපයක් මුහුදට දමා පලා යාමට උත්සාහ කළ එම ඩිංගි යාත්‍රාව එහි තිබූ කේරළ ගංජා සහිත එක් උරයක් සහ සැකකරුවන් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට ගන්නා ලදී.

අනතුරුව, උතුරු නාවික විධානයට අයත් හතරවන වේග ප්‍රහාරක බලඝණයේ පී 480 සහ පී 433 වේග ප්‍රහාරක මුර යාත්‍රාවන් සහ පී 105 වෙරළබඩ මුර යාත්‍රාව යොදවා එම මුහුදු ප්‍රදේශයේ සිදුකළ වැඩිදුර සෝදිසි මෙහෙයුමේදී මුහුදට දමන ලද කේරළ ගංජා සහිත තවත් උර 03ක් සොයා ගන්නා ලදී. ඒ අනුව මෙම සමස්ථ මෙහෙයුමේදී කේරළ ගංජා කිලෝ 139 ග්‍රෑම් 930ක තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් (02) සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගන්නා ලදී.

මෙම කේරළ ගංජා තොගය අන්තර් ජාතික මුහුදු සීමාවේදී ජාවාරම් කරුවන් විසින් ලබා ගෙන මෙලෙස ගොඩබිමට ගෙන ඒමට උත්සාහ කරන්නට ඇතැයි සැක කරන අතර, මෙම කේරළ ගංජා තොගයේ වීථි වටිනාකම රුපියල් මිලියන 41 කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු කරන ලද මෙම මෙහෙයුම මගින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 22 සහ 26 යන වයස් වල පසුවන පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචි කරුවන් බවට හඳුනාගන්නා ලද අතර, එම සැකකරුවන්, කේරළ ගංජා තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතීමය කටයුතු සඳහා පේදුරුතුඩුව පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.