රුපියල් මිලියන 68කට අධික විථි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට

නාවික හමුදාව වෙත්තලකේනි, අලියවේලි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ අද (2021 සැප්තැම්බර් 05) අළුයම සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 227 ග්‍රෑම් 400ක (ඇසුරුම් සහිත බර) පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

උතුරු නාවික විධානය මඟින් වෙත්තලකේනි, අලියවේලි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ සිට ගොඩබිම දෙසට යාත්‍රා කළ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්ෂණය කර උතුරු නාවික විධානයට අනුයුක්ත පී 166 වෙරළබඩ මුර යාත්‍රාව යොදවා අද (2021 සැප්තැම්බර් 05) අළුයම එම මුහුදු ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදී. එහිදී, නාවික මෙහෙයුම් හමුවේ ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව ජාවාරම් කරුවන් විසින් වෙත්තලකේනි, අලියවේලි වෙරළ තීරයේ අතහැරදමා යන ලද ඩිංගි යාත්‍රාවක තිබූ උර 05ක පාර්සල් 100ක් වශයෙන් අසුරා තිබූ කේරළ ගංජා කිලෝ 227 ග්‍රෑම් 400ක පමණ තොගයක් (ඇසුරුම් සහිත බර) නාවික හමුදා භාරයට ගන්නා ලදී.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 68කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සිදුකළ මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගය ගිනි තබා විනාශ කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කළ අතර, ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තෙක් නාවික හමුදා භාරයේ තබා ඇත.

තවද, පවත්නා වසංගත තත්වය හමුවේ වුවද මුහුදු මාර්ගයෙන් සිදුකෙරෙන මෙවැනි ජාවාරම් කටයුතු මැඩපැවැත්වීම සඳහා දිවයින වටා වූ මුහුදු තීරය ආවරණය වන පරිදි මුර සංචාර සහ විශේෂ සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව සිදු කිරීමට නාවික හමුදාව කටයුතු කරනු ලබයි.