දින තුනක් තුළ සිදු කළ නාවික මෙහෙයුම් මඟින් නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සහ කළ වියලි කහ කිලෝ 3704කට අධික තොගයක් සමඟ සැකකරුවන් 10ක් නීතියේ රැහැනට

නාවික හමුදාව විසින් මන්නාරම, සවුත්බාර් හා ඉරුක්කලම්පිඩ්ඩි වෙරළ ප්‍රදේශයන්හි සහ මන්නාරම දකුණු මුහුදේ 2021 සැප්තැම්බර් 16, 17 සහ 18 යන දින තුන තුළදී සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ තවත් වියලි කහ කිලෝ 3704කට අධික තොගයක් සමඟ දේශීය සැකකරුවන් 04ක් සහ ඩීංගි යාත්‍රාවක් (01) ද, ඉන්දීය ජාතික සැකකරුවන් 06ක් සහ ඉන්දීය ඩව් යාත්‍රාවක් (01) ද නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ගයෙන් සිදු කෙරෙන නීති විරෝධී ජාවාරම් කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව වයඹ නාවික විධානය මගින් 2021 සැප්තැම්බර් 18 වන දින සවස් කාලයේ මන්නාරම දකුණු මුහුදේ, පි - 261 සහ පි - 233 වෙරළබඩ මුර යාත්‍රා යොදවා සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කුදිරමලේ තුඩුවට ඔබ්බෙන් වයඔ දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ අන්තර් ජාතික මුහුදු සීමාව උල්ලංඝනය කරමින් මෙරට මුහුදු සීමාවට ඇතුල් වී තිබූ සැකකටයුතු ඉන්දීය ඩව් යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කරන ලදී. එහිදී එම යාත්‍රාවේ තිබූ නීතී විරෝධි ලෙස මෙරටට ගෙන ඒමට උත්සහ කළ උර 60ක අසුරන ලද වියලි කහ කිලෝ 2100ක පමණ තොගයක් සමඟ එම ඉන්දීය ඩව් යාත්‍රාව සහ ඉන්දීය ජාතික සැකකරුවන් හය දෙනෙකු (06) නාවික හමුදා භාරයට ගන්නා ලදී. මෙම ඉන්දීය ඩව් යාත්‍රාව මඟින් රැගෙන එන ලද වියලි කහ මුහුදේදී මෙරට යාත්‍රාවන්ට හුවමාරු කර ගොඩබිමට රැගෙන ඒමට ජාවාරම් කරුවන් විසින් සැලසුම් කර තිබෙන්නට ඇතැයි සැක කෙරේ.

එමෙන්ම, උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය මඟින් 2021 සැප්තැම්බර් මස 17 වන දින රාත්‍රියේ මන්නාරම, සවුත්බාර් කළපු ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම කළපුව ඔස්සේ ගොඩබිමට පැමිණෙමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් (01) පරික්‍ෂාවට ලක් කර එම යාත්‍රාව තුළ තිබූ නීතීවිරෝධි ලෙස මෙරටට රැගෙන ඒම‍ට උත්සහ කළ උර 20ක අසුරන ලද වියලි කහ කිලෝ 866 ග්‍රෑම් 200ක පමණ තොගයක් සමඟ එම ඩිංගි යාත්‍රාව සහ සැකකරුවන් සිව් දෙනෙකු (04) නාවික හමුදා භාරයට ගන්නා ලදී.

තවද, 2021 සැප්තැම්බර් 16 උදෑසන උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත මැරීන් බලඝණයේ කණ්ඩායමක් විසින් ඉරුක්කලම්පිඩ්ඩි වෙරළ තීරයේ සිදු කළ තවත් විශේෂ සෝදිසි මෙහෙයුමකදී, ජාවාරම් කරුවන් විසින් ඉරුක්කලම්පිඩ්ඩි කළපුව තුළ ගිල්වා තිබූ උර 22ක අසුරන ලද වියලි කහ කිලෝ 738 ග්‍රෑම් 700ක (තෙත බර සහිත) පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකුලව සිදු කළ මෙ‍ම මෙහෙයුම් මඟින් මන්නාරම දකුණු මුහුදේදී නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ජාතික සැකකරුවන් හය දෙනා (06) සමඟ ඉන්දීය ඩව් යාත්‍රාව අද (2021 සැප්තැම්බර් 19) මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පිටත්කර හැරීමට කටයුතු කරන ලද අතර, නාවික හමුදා භාරයටගත් වියලි කහ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තෙක් නාවික හමුදා භාරයේ තබා ඇත.

තවද, මන්නාරම සවුත්බාර් ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගත් සැකරුවන් වයස අවුරුදු 18ත් 48ත් අතර වයසේ පසුවන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලද අතර, එම සැකකරුවන් නිරෝධායනය සඳහා මන්නාරම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෙත භාරදෙන ලදී. එහිදී නාවික හමුදා භාරයටගත් වියලි කහ තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා භාර දෙන තෙක් නාවික හමුදා භාරයේ තබා ඇත.