රුපියල් මිලියන 68 අධික කේරළ ගංජා තොගයක් මන්නාරම ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, නරිවිල්කුලම් වෙරළ ප්‍රදේශයේ 2021 සැප්තැම්බර් 21 වන දින සිදුකළ විශේෂ පාමුර සංචාරයකදී, ජාවාරම් කරුවන් විසින් නාවික මෙහෙයුම් හමුවේ එම වෙරළ තීරයේ අතහැර දමා තිබූ කේරළ ගංජා කිලෝ 228 කට අධික තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

වෙරළ තීරය ඔස්සේ සිදුකෙරෙණ මත්ද්‍රව්‍ය ඇතුළු විවිධ ජාවාරම් මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රි ලංකා නාවික නෞකා ඵුස්සදේව ආයතනය මඟින් මන්නාරම, නරිවිල්කුලම් වෙරළ ප්‍රදේශයේ 2021 සැප්තැම්බර් 21 වන දින උදෑසන සිදු කරන ලද මෙම විශේෂ පාමුර සංචාරයේදී, නාවික මෙහෙයුම් හමුවේ ජාවාරම් කරුවන් විසින් එම වෙරළ තීරයේ අතහැර දමා යන ලද උර හයක (06) පාර්සල් 103ක් ලෙස අසුරා තිබූ කේරළ ගංජා කිලෝ 228 ග්‍රෑම් 100ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ වීථි වටිනාකම රුපියල් මිලියන 68 කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සිදුකළ මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගය ගිනි තබා විනාශ කිරීමට නියමිතව ඇත.