නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සහ කළ තවත් කහ කිලෝ 1175කට අධික තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2021 සැප්තැම්බර් 19 සහ 22 යන දිනයන් හීදී මන්නාරම, වංකාලේ මුහුදු ප්‍රදේශයේ සහ යාපනය ගුරුනගර් වෙරළ තීරයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 1175කට අධික තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙහිදී, උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනයට අයත් පි 012 දරණ වෙරළ බඩ මුර යාත්‍රාව මඟින්, 2021 සැප්තැම්බර් මස 19 වන දින සන්ද්‍යා කාලයේ මන්නාරම, වංකාලේ මුහුදු තීරයේ දී සිදු කළ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු තීරයේ මසුන් ඇල්ලීමට භාවිතා කරනු ලබන ජා කොටුවක් තුල සඟවා තිබූ උර 12ක අසුරන ලද කහ කිලෝ 805 ග්‍රෑම් 400ක (තෙත බර සහිත) පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, උතුරු නාවික විධානයට අයත් ශ්‍රීලංනානෞ වේළුසුමන ආයතනය මඟින් 2021 සැප්තැම්බර් මස 22 වන දින යාපනය ගුරුනගර් වෙරළ තීරයේ සිදු කළ තවත් විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් වෙරළ තීරයේ නවතා තිබූ ධීවර යත්‍රා පරීක්‍ෂා කරන ලදී. එහිදී එලෙස නවතා තිබූ එක් ධීවර යාත්‍රාවක සඟවා තිබූ ගෝනි උර 07ක අසුරන ලද කහ කිලෝ 369 ග්‍රෑම් 650ක (තෙත බර සහිත) පමණ තොගයක් සොයා ගන්නා ලද අතර, කහ තොගය සහ ධීවර යාත්‍රාව නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකුලව සිදු කළ මෙ‍ම මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයටගත් කිලෝග්‍රෑම් 1175කට (තෙත බර සහිත) අධික වියලි කහ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තෙක් නාවික හමුදා භාරයේ තබා ඇත.