නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 96 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2021 සැප්තැම්බර් මස 01 වන දින සිට 30 වන දින දක්වා ගතවූ මාසයක කාලය තුළ නැගෙනහිර, ගිනිකොන සහ උතුරු මැද නාවික විධානයන් කේන්ද්‍ර කර ගනිමින් සිදු කළ සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුණු පුද්ගලයින් 96 ක් සහ ධීවර යාත්‍රා 28 ක් ඇතුළු ධීවර ආම්පන්න නීති‍යේ රැහැනට හසු කර දීමට කටයුතු කෙරිණි.

නීති විරෝධී ධීවර කර්මාන්තය හේතුවෙන් සාගර පරිසර පද්ධතියට සිදුවන හානිය වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් දිවයින වටා වෙරළ කළාපය ආවරණය වන පරිදි නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව නාවික හමුදාව විසින් පසුගිය සැප්තැම්බර් මාසය තුළ සිදුකළ මෙහෙයුම් මඟින් වලංගු ධීවර බලපත් නොමැතිව ධීවර කර්මාන්තයේ නියැලීම, නීති විරෝධී දැල් භාවිත කිරීම, වලංගු බලපත් නොමැතිව නීති විරෝධී ලෙස රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදුකරමින් මූහුදු කූඩැල්ලන් ඇල්ලීම සහ විදුලි ආලෝක ධාරා යොදා ගනිමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදු කිරීම යනාදී නීති විරෝධී ධීවර කටයුතු හේතුවෙන් මෙම පුද්ගලයින් සහ ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 19 ත් 68 ත් අතර වයසේ පසුවන තිරික්කෝවිල් කින්නියා, මූතූර්, වලෙයිපාඩු, කිරන්චි, කුච්ච‍වේලි, ත්‍රිකුණාමලය, ලංකාපටුන, කල්අඩි, නිලාවේලි, සාම්බල්තිවු, අක්කරෙයිපත්තු, මන්නාරම, කෝකිලායි, පෙරියපාඩු, තෙන්නන්තිවු සහ හලාවත යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලදී.

කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සිදු කරන ලද මෙම මෙහෙයුම් මගින් නීතියේ රැහැනට හසුකර ගත් පුද්ගලයින්, ධීවර යාත්‍රා සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා කුච්චවේලි, කින්නියා, කිළිනොච්චි, පාලමුණේ, ත්‍රිකුණාමලය, මන්නාරම සහ මුලතිවු යන ධීවර පරීක්‍ෂක කාර්යාල වෙත සහ තිරුක්කෝවිල් පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.