නීති විරෝධි ලෙස රැගෙන ආ වියලි කහ කිලෝ 1672 ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2021 ඔක්තෝබර් මස 08 වන දින හලාවත, කරුකපනේ දැදුරු ඔය මෝය කට ප්‍රදේශයේ සහ මන්නාරම, එරුක්කුලම්පිඩ්ඩි වෙරළ ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස රට තුළට රැගෙන ඒමට උත්සාහ කළ තවත් වියලි කහ කිලෝග්‍රෑම් 1672 ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

වයඹ නාවික විධානයට අයත් ශ්‍රි ලංකා නාවික නෞකා තම්බපන්ණී ආයතනය මඟීන් 2021 ඔක්තෝබර් මස 08 වන දින හලාවත, කරුකපනේ, දැදුරු ඔය මෝය කට ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී එම මෝයකට ආශිත ළදු කැළෑවක සඟවා තිබූ නීති විරෝධී ලෙස රැගෙන ආ උර 37ක අසුරන ලද වියලි කහ කිලෝග්‍රෑම් 1154ක පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගන්නා ලදී.

එමෙන්ම, උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රි ලංකා නාවික නෞකා ගජබා ආයතනය මඟින් 2021 ඔක්තෝබර් මස 08 වන දින මන්නාරම, එරුක්කුලම්පිඩිඩි වෙරළ ප්‍රදේශයේ සිදු කළ තවත් විශේෂ සෝදිසි මෙහෙයුමකදී එම වෙරළ තීරයේ නවතා තිබූ ධීවර යාත්‍රා 02ක් තුළ සඟවා තිබූ නීති විරෝධී ලෙස රැගෙන ආ උර 10ක අසුරන ලද වියලි කහ කිලෝග්‍රෑම් 518ක පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගන්නා ලදී.

තවද, නාවික මෙහෙයුම් හමුවේ රට තුළට ගෙනයාමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් මෙම වියලි කහ තොග මෙලෙස අතහැර දමා යන්නට ඇතැයි නාවික හමුදාව විශ්වාස කරනු ලබයි.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකුලව සිදු කළ මෙ‍ම මෙහෙයුම් මඟින් මන්නාරම, එරුක්කුලම්පිඩ්ඩි වෙරළ තීරයේදී නාවික හමුදා භාරයටගත් වියලි කහ තොගය සහ ධීවර යාත්‍රාවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම පොලීසිය වෙත භාරදීමට කටයුතු කළ අතර, දැදුරු ඔය මෝය කට ප්‍රදේශයේදී නාවික හමුදා භාරයටගත් වියලි කහ තොගය ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා නාවික හමුදා භාරයේ තබා ඇත.

Sනාවික හමුදාව විසින් ඔක්තෝබර් මාසය තුළදී පමණක් බටහිර, වයඹ සහ උතුරු මැද නාවික විධානයන්ට අයත් වෙරළ සහ මුහුදු සීමාව තුළ සිදුකළ විශේෂ මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 11636ක පමණ තොගයක් නීතියේ රැහැනට හසුකර දීමට සමත්වී ඇති අතර, මෙවැනි නීති විරෝධී ජාවාරම් මැඩපැවැත්වීම සඳහා ඉදිරියටත් නාවික හමුදාව අඛණ්ඩ මෙහෙයුම් සිදු කරනු ලබයි.