නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 1477ක පමණ තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් කල්පිටිය, කන්දක්කුලිය ප්‍රදේශයට ඔබ්බෙන්වූ මුහුදේ සහ කොන්ඩච්චිකුඩා, නවදණ්ඩවත්ත වෙරළ ප්‍රදේශයේ 2021 ඔක්තෝබර් මස 09 වන දින සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 1477ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ගයෙන් සිදු කෙරෙන නීති විරෝධි ජාවාරම් කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව වයඹ නාවික විධානයට අනුයුක්ත පි - 424 වේග ප්‍රහාරක මුර යාත්‍රාව මඟින් 2021 ඔක්තෝබර් මස 09 වන දින සවස් කාලයේ කල්පිටිය, කන්දක්කුලිය ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් සිදු කරන ලදී. එහිදී, අන්තර් ජාතික මුහුදු සීමාව උල්ලංඝනය කරමින් මෙරට මුහුදු සීමාවට ඇතුල් වී තිබූ ඉන්දීය ඩව් යාත්‍රාවක තිබූ නීතී විරෝධි ලෙස මෙරටට ගෙන ඒමට උත්සහ කළ උර 52ක අසුරන ලද වියලි කහ කිලෝ 1299ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගන්නා ලද අතර, මෙම වියලි කහ තොගය මුහුදේදී මෙරට යාත්‍රාවන්ට හුවමාරු කර ගොඩබිමට රැගෙන ඒමට ජාවාරම් කරුවන් විසින් සැලසුම් කර තිබෙන්නට ඇතැයි සැක කෙරේ.

තවද, වයඹ නාවික විධානය‍ට අයත් ශ්‍රීලංනානෞ ථේරපුත්ත ආයතනය මඟින් සිලාවතුර පොලීසිය හා එක්ව කොන්ඩච්චිකුඩා, නවදණ්ඩවත්ත වෙරළ ප්‍රදේශයේ 2021 ඔක්තෝබර් මස 09 වන දින සවස් කාලයේ සිදු කළ තවත් විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් ජාවාරම් කරුවන් විසින් නාවික මෙහෙයුම් හමුවේ අතහැර දමා ගොස් ඇති බවට සැක කෙරෙන වියලි කහ කිලෝග්‍රෑම් 178 ක පමණ ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට හැකිවිය.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකුලව සිදු කළ මෙ‍ම මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් ඩව් යාත්‍රාව එහි සිටි ඉන්දීය ජාතික සැකකරුවන් සිව් දෙනා (04) සමඟ මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පිටත්කර හැරීමට කටයුතු කරන ලද අතර, නාවික හමුදා භාරයටගත් වියලි කහ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තෙක් නාවික හමුදා භාරයේ තබා ඇත. තවද, කොන්ඩච්චිකුඩා, නවදණ්ඩවත්ත වෙරළ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් වියලි කහ තොගය සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු සිලාවතුර පොලීසිය මඟින් සිදු කරනු ලබයි.