නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සහ කළ තවත් වියලි කහ කිලෝ 2925කට අධික තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2021 ඔක්තෝබර් මස 11 සහ 12 යන දිනයන්හිදී මන්නාරම, මන්දගල්ආරු හා නාරාපාඩු ප්‍රදේශයට ඔබ්බෙන් වූ ‍මුහුදු ප්‍රදේශයේ සහ මණ්ඩතිවු පල්ලෙකුඩා වෙරළ තීරයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 2925 කට අධික තොගයක් සහ එනසාල් කිලෝග්‍රෑම් 11කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයට අනුයුක්ත ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණ කණ්ඩායමක් Z 228 සහ Z 190 දරණ සෙඩ්ඩ්‍රික් යාත්‍රාවන් යොදා ගනිමින්, ඔක්තෝබර් මස 11 වන දින මන්නාරම, මන්දගල්ආරු ප්‍රදේශයට ඔබ්බෙන් වූ ‍මුහුදු ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, ගොඩබිම දෙසට යාත්‍රා කරමින් තිබූ සැක සහිත ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂා කරන ලදී. එහිදී එම ඩිංගි යාත්‍රාව තුළ තිබූ නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝ 617 ග්‍රෑම් 500 ක පමණ තොගයක් හා එනසාල් කිලෝ 11 ග්‍රෑම් 700ක පමණ ප්‍රමාණයක් සමඟ එම ඩිංගි යාත්‍රාව සහ එහි සිටි සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගන්නා ලදී.

එමෙන්ම, උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය මඟින්, 2021 ඔක්තෝබර් මස 12 දින මන්නාරම, නාරාපාඩු වෙරළ ප්‍රදේශයේ සිදු කළ තවත් විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නාවික මෙහෙයුම් හමුවේ ජාවාරම් කරුවන් විසින් එම වෙරළ ප්‍රදේශයේ අතහැර දාමා යන ලද උර 45ක අසුරා තිබූ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝ 1502 ග්‍රෑම් 800 ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගන්නා ලදී.

තවද, 2021 ඔක්තෝබර් 12 දින උතුරු නාවික විධානයට අයත් ශ්‍රීලංනානෞ වේළුසුමන ආයතනය මඟින් මණ්ඩතිවු පල්ලෙකුඩා වෙරළ තීරයේ සිදු කළ විශේෂ පාමුර සංචාරයකදී, එම වෙරළ තීරයේ නවතා තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්ෂාකරන ලදී. එහිදී එම යාත්‍රාවේ තිබී උර 15ක අසුරන ලද වියලි කහ කිලෝ 805 ග්‍රෑම් 500 ක පමණ තොගයක් සොයා ගැනීමට හැකිවූ අතර, එම වියලි කහ තොගය සහ ඩිංගි යාත්‍රාව නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකුලව සිදු කළ මෙ‍ම මෙහෙයුම් මඟින් මන්නාරම, මන්දගල්ආරු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ දී නාවික හමුදා භාරයටගත් සැකකරුවන් අවුරුදු 26 සහ 35 යන වයස්වල පසුවන පේසාලේ සහ වංකාලේ ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හදුනා ගන්නා ලද අතර, එම සැකකරුවන්, වියලි කහ, එන්සාල් සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය රේගු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

තවද, මන්නාරම, නාරාපාඩු ප්‍රදේශයට ඔබ්බෙන් වූ ‍මුහුදු ප්‍රදේශයේ දී සහ මණ්ඩතිවු පල්ලෙකුඩා වෙරළ තීරයේ දී නාවික හමුදා භාරයට ගත් වියලි කහ ‍තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සිදු කරන තෙක් නාවික හමුදා භාරයේ රඳවා තබා ඇත.