නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සහ කළ තවත් වියලි කහ කිලෝ 1135කට අධික තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2021 ඔක්තෝබර් මස 20 වන දින කල්පිටිය සහ මන්නාරම, ප්‍රදේශයන්හී සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝ ග්‍රෑම් 1135කට අධික තොගයක් සමඟ සැකකරුවකු (01) සහ කැබ් රථයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනියුක්ත මැරීන් බලඝණයේ කණ්ඩායමක් විසින් 2021 ඔක්තෝබර් මස 20 වන දින රාත්‍රියේ කල්පිටිය තිල්ලායිඅඩි වෙරළ තීරයේ සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නිතී විරෝධි ලෙස රැගෙන එන ලද උර 19ක අසුරා තිබූ වියලි කහ කිලෝ 640ක පමණ තොගයක් කැබ් රථයකට පටවමින් සිටි සැකකරුවකු සමඟ එම වියලි කහ තොගය සහ කැබ් රථය නාවික හමුදා භාරයට ගන්නා ලදී.

තවද, 2021 ඔක්තෝබර් මස 20 වන දින රාත්‍රියේ කල්පිටිය, කන්දක්කුලිය ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනියුක්ත විශේෂ යාත්‍රා බලඝණයේ කණ්ඩායමක් විසින් පී 237 වෙරළබඩ මුර යාත්‍රාව මඟින් සිදු කළ තවත් විශේෂ සෝදිසි මෙහෙයුමකදී නාවික හමුදා මෙහෙයුම් හමුවේ ජාවාරම්කරුවන් විසින් එම මුහුදු ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබූ මළු 03ක අසුරන ලද තවත් වියලි කහ කිලෝ 100ක පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

එමෙන්ම, උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රි ලංකා නාවික නෞකා ඵුස්සදේව ආයතනය, ශ්‍රි ලංකා යුද හමුදාව සහ අඩම්පන් පොලීසිය හා එක්ව 2021 ඔක්තෝබර් මස 20 වන දින රාත්‍රියේ මන්නාරම, කිලිකරායන්පිඩ්ඩි ප්‍රදේශයේ වෙරළට ආසන්න මුහුදු තීරයේ සිදුකළ තවත් විශේෂ සෝදිසි මෙහෙයුමකදී ජාවාරම්කරුවන් විසින් එම මුහුදු තීරයේ ගිල්වා සඟවා තිබූ උර 10ක අසුරන ලද වියලි කහ කිලෝ ග්‍රෑම් 395ක පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකුලව සිදු කළ මෙ‍ම මෙහෙයුම් මඟින් කල්පිටිය තිල්ලායිඅඩි වෙරළ තීරයේදී නාවික හමුදා භාරයටගත් වියලි කහ තොගය, සැකකරු සහ කැබ් රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලදී. තවද, කල්පිටිය, කන්දක්කුලිය ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගත් වියලි කහ තොගය ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා නාවික හමුදා භාරයේ රඳවා තබා ඇති අතර, මන්නාරම, කිලිකරායන්පිඩ්ඩි ප්‍රදේශයේදී නාවික හමුදා භාරයටගත් වියලි කහ තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා අඩම්පන් පොලිස් ස්ථානය වෙත බාරදීමට කටයුතු කෙරිණි.