‘නීති වි‍රෝධී ලෙස මෙරටින් සංක්‍රමණය විමට උත්සහ කළ පුද්ගලයින් 19 ක් හලාවත දී නාවික හමුදා භාරයට’ යන සිරස්තලය යටතේ 2021 නොවැම්බර් මස 09 වන දින නිකුත් කල පුවත හා සබැ‍ඳේ

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් හලාවත වෙරළ ප්‍රදේශය ආවරණය වන පරිදි සිදු කළ විශේෂ සෝදිසි මෙ‍හෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැක කෙරෙන පුද්ගලයින් 19 දෙනෙකු හලාවත දැදුරු ඔය මෝය ප්‍රදේශයේ දී 2021 නොවැම්බර් මස 09 වන දින උදෑසන නාවික හමුදා භාරයට ගත් අතර, වැඩි දුර විමර්ශණ වලදී අණාවරනය වූ තොරතුරු මත මෙම ජාවාරම සඳහා යොදා ගත් බවට සැක කෙරෙන බහුදින ධීවර යාත්‍රාවක් තවත් සැකකරුවන් පස් දෙනෙකු (05) සමඟ වෙන්නප්පුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ දී නාවික හමුදා භාරයට ගැනීමට 2021 නොවැම්බර් මස 09 වන දින දහවල් කටයුතු කෙරිණි.

සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ වැඩිදුර විමර්ෂණ මගින්, නාවික හමුදා භාරයට ගන්නා ලද බහුදින ධීවර යාත්‍රාව 2021 ඔක්තෝබර් මස 31 වන දින වාලච්චේන ප්‍රදේශයෙන් ධීවර කටයුතු සිදු කරන මුවාවෙන් පිටත්වී 2021 නොවැම්බර් මස 05 වන දින හලාවතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයට පැමිණ එදින රාත්‍රියේදී විදේශ රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ පුද්ගලයින් 19 දෙනා එම යාත්‍රාවට නංවාගෙන ඇති බවත් අනාවරණය විය.

එමෙන්ම නාවික හමුදාව සිදුකරනු ලබන මුර සංචාර හේතුවෙන් හා පැවති අයහපත් කාළගුණ තත්වය හේතුවෙන් අනවසරයෙන් සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් රැගත් මෙම බහුදින ධීවර යාත්‍රාවට, ජාවාරම් කරුවන් සැළසුම් කර තිබූ පරිදි මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට යාමට නොහැකිව නැවතත් හලාවත ප්‍රදේශයෙන් ගොඩබිම වෙත ‍මෙම පුද්ගලයින් යොමු කිරීමට ජාවාරම්කරුවන් උත්සහ දැරීමේදී නාවික හමුදා භාරයට පත් වි ඇති බවට ද වැඩි දුරටත් අනාවරණය විය.

තවද, මෙම සිදු විමට අදාලව නාවික හමුදාව හලාවත පොලිසිය හා එක්ව සිදු කළ වැඩි දුර විමර්ශණ වලදී, නිතී විරෝධී ලෙස සංක්‍රමණය විමට උත්සහ කළ පිරිස අතර එම නීති විරෝධී සංක්‍රමණ කටයුත්තෙහි සම්බන්ධිකාරක ලෙස කටයුතු කළ පුද්ගලයා ලෙස හදුනාගත් තැනැත්තා, පසුගිය යුධ සමයේ සිදු වූ ත්‍රස්ථවාදී ක්‍රියා ගණනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අත්‍යවශ්‍යව සිටි හිටපු එල්ටිටිඊ ත්‍රස්ථවාදී සාමාජිකයෙකු බවට අනාවරණය කර ගන්නා ලදී. තවද මෙම ජාවාරමට සම්බන්ධ ප්‍රධාන ජාවාරම් කරුවන් දෙදෙනා වත්තල හා වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් බහුදින ධීවර යාත්‍රාව වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට අයත් බවත් මුලික විමර්ශණ මගින් අනාවරණය වි ඇත.

ඒ අනුව හලාවත දැදුරු ඔය මෝය අසලදී නාවික හමුදා භාරයට ගත් නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ පුද්ගලයින් නැවත ප්‍රවාහනය කිරීම සඳහා පැමිණ තිබූ වෑන් රථයේ රියදුරු සහ සහයක ඇතුළු පුද්ගලයින් 21 දෙනා සහ ජාවාරමට සම්බන්ධ බහුදින ධීවර යාත්‍රාව සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් 05 දෙනා මූලික නාවික හමුදා විමර්ශන වලින් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා හලාවත පොලිසිය වෙත භාරදීමට කටයුතු කරන ලදී.