නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 1437කට අධික තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2021 නොවැම්බර් 17 සහ 18 යන දිනයන්හි මන්නාරම වංකාලපාඩු මුහුදු ප්‍රදේශයේ සහ තාල්පාඩු වෙරළ ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 1437කට අධික තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) සහ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ගයෙන් සිදු කෙරෙන නීති විරෝධි ජාවාරම් කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව 2021 නොවැම්බර් 18 වන දින උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රි ලංකා නාවික නෞකා ගජබා ආයතනය විසින් මන්නාරම තාල්පාඩු වෙරළ තීරය දෙසට යාත්‍රා කළ සැකකටයුතු යාත්‍රාවක් නිරීක්‍ෂණය කර එම යාත්‍රාව පරීක්‍ෂා කිරීම සඳහා එම වෙරළ ප්‍රදේශය ආවරණය වන පරිදි විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදුකරන ලදී. එහිදී, නාවික මෙහෙයුම් හමුවේ ජාවාරම් කරුවන් විසින් තාල්පාඩු වෙරළ ප්‍රදේශයේ අතහැරදමා යන ලද උර 36ක අසුරා තිබූ වියලි කහ කිලෝග්‍රෑම් 1357ක පමණ ප්‍රමාණයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගන්නා ලදී.

තවද, ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත විශේෂ යාත්‍රා බලඝණයේ කණ්ඩායමක් විසින් 2021 නොවැම්බර් 17 වන දින අළුයම මන්නාරම වංකාලපාඩු මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයකදී ගොඩබිම දෙසට යාත්‍රාකරමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් (01) පරීක්‍ෂාවට ලක් කරන ලදී. එහිදී එම ඩිංගි යාත්‍රාවේ තිබී නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ උර 02ක අසුරන ලද වියලි කහ කිලෝග්‍රෑම් 80 ක පමණ තොගයක් සොයා ගැනීමට හැකිවූ අතර, ඒ අනුව එම ඩිංගි යාත්‍රාවේ සිටි සැකකරුවන් තිදෙනෙකු (03) සමඟ වියලි කහ තොගය සහ එම ඩිංගි යාත්‍රාව නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකුලව මන්නාරම වංකාලපාඩු මුහුදු ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයටගත් සැකකරුවන් වයස අවුරුදු 21 සහ 36 යන වයස් වල පසුවන පේසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හදුනාගන්නා ලද අතර. එම සැකකරුවන් නිරෝධායනය සඳහා පේසාලේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක වෙතත්, නාවික හමුදා භාරයට ගත් වියලි කහ තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා පේසාලේ පොලීසිය වෙතත් භාරදීමට කටයුතු කරන ලදී. තවද, මන්නාරම තාල්පාඩු වෙරළ ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගත් වියලි කහ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තෙක් නාවික හමුදා භාරයේ රඳවා තබා ඇත.