නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සහ කළ බීඩි කොළ තොගයක් දකුණු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙවුන්දර සිට නාවික සැතපුම් 60 ක් පමණ (කිලෝමීටර් 111 ක් පමණ) දුරින් වූ දකුණු මුහුදු තීරයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ බීඩි කොළ (Kendu Leaves) කිලෝ 5645 ග්‍රෑම් 500ක පමණ තොගයක් සමඟ සැකකරුවන් 05 දෙනෙකු සහ බහුදින ධීවර යාත්‍රාවක් 2021 දෙසැම්බර් 06 දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදුකෙරෙන මත්ද්‍රව්‍ය ඇතුළු විවිධ නීති විරෝධී ජාවාරම් කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වූ මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව, දකුණු නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා හතරවන වේග ප්‍රහාරක යාත්‍රා බලඝනයට අයත් පී 485 දරන වේග ප්‍රහාරක යාත්‍රාව මඟින් දෙවුන්දර සිට නාවික සැතපුම් 60ක් පමණ දුර දකුණු මුහුදු තීරයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු මෙරට බහුදින ධීවර යාත්‍රාවක් (IMUL - A - 0790- KLT ) පරීක්ෂාවට ලක් කරන ලදී. එහිදී, එම බහුදින ධීවර යාත්‍රාව තුළ උර 357ක අසුරා තිබූ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝ 5645 ග්‍රෑම් 500ක පමණ තොගයක් සොයාගැනීමෙන් අනතුරුව, සැකකරුවන් පස්දෙනෙකු (05) සමඟින් එම බහුදින ධීවර යාත්‍රාව නාවික හමුදා භාරයට ගෙන ගාල්ල වරාය වෙත රැගෙන ඒමට කටයුතු කෙරිණි.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදුකළ මෙ‍ම මෙහෙයුමේදී නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 22ත් 66ත් අතර වයසේ පසුවන කෝට්ටගොඩ, දික්වැල්ල, දෙනියාය සහ හුංගම යන ප්‍රදේශයන්හි පදිංචි පුද්ගලයින් බවට හඳුනා ගන්නා ලද අතර, එම සැකකරුවන්, බහුදින යාත්‍රාව සහ බීඩි කොළ තොගය ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා ගාල්ල වරාය පොලිසිය වෙත භාර දීමට නියමිතව ඇත.

තවද, නීතිවිරෝධී ජාවාරම් මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව රාජ්‍ය බුද්ධි සේවාව සහ අනෙකුත් බුද්ධි සේවාන් සමඟ සම්බන්ධීකරණයෙන් නිරන්තර මෙහෙයුම් සිදුකරන බැවින්, බහුදින ධීවර කටයුතු සිදුකරන මුවාවෙන් වැඩි ආර්ථික ප්‍රතිලාභ අපේක්ෂාවෙන් ධීවර ප්‍රජාව විසින් සිදු කරනු ලබන මෙවැනි නීති විරෝධී ජාවාරම් කටයුතු සඳහා කිසිදු ඉඩක් නොමැත. එබැවින්, වැඩි ආර්ථික ප්‍රතිලාභ අපේක්ෂාවෙන් මෙවැනි නීති විරෝධී ජාවාරම් කටයුතු සඳහා සම්බන්ධවීමෙන් හෝ ඒ සඳහා අනුබලදීමෙන් වළකින ලෙස නාවික හමුදාව මෙරට ධීවර ප්‍රජාව වෙත අවධාරණය කරයි.