ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු තවත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 02ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරමට දකුණු දෙසින් වු ශ්‍රි ලංකාවට අයත් මුහුදු තීරයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙරට මුහුදු සීමාව තුලට ඇතුළුවී අනවසර ධීවර කටයුතු සිදුකරමින් සිටි තවත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 02ක් සමඟ ඉන්දීය ජාතික ධීවරයින් 12ක් අද (2021 දෙසැම්බර් 19) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අනුයුක්ත වෙරලබඩ මුර යාත්‍රාවන් යොදවා මන්නාරමට දකුණු දෙසින් වු ශ්‍රි ලංකාවට අයත් මුහුදු තීරයේ සිදුකළ මෙම විශේෂ මෙහෙයුම මඟින් මෙරට මුහුදු සීමාව තුල නීති විරෝධී ධීවර කටයුතු සිදුකරමින් සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 02ක් සහ එහි සිටි ඉන්දීය ජාතික ධීවරයින් 12 දෙනෙකු මෙලෙස අද (2021 දෙසැම්බර් 19) නාවික හමුදා භාරයට ගන්නා ලදී.

විදෙස් ධීවරයින් විසින් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරන ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව ඊයේ සහ අද (2021 දෙසැම්බර් 18 සහ 19) උතුරු සහ උතුරු මැද නාවික විධානයන් මඟින් සිදු කළ මෙහෙයුම් මඟින් මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 08ක් සහ ඉන්දීය ජාතික ධීවරයින් 55 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු කළ මෙම මෙහෙයුම මගින් මන්නාරම දකුණු මුහුදු තීරයේදී නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ජාතික ධීවරයින් ක්ෂණික ප්‍රතිදේහ පරීක්‍ෂණ සඳහා යොමු කිරීමෙන් පසු ඉදිරි නීතිමය කටයුතු සඳහා අදාල අංශ වෙත යොමු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින අතර, ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට විදෙස් ධීවරයින් ඇතුළුවී සිදුකරනු ලබන අනවසර ධීවර කටයුතු මැඩපැවැත්වීම උදෙසා නාවික හමුදාව ඉදිරියටත් අඛණ්ඩව මෙහෙයුම් සිදුකරනු ලබයි.