ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු තවත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 02ක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය, අනලතිව් දූපතට බටහිර දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේ 2021 දෙසැම්බර් මස 20 වන දින රාත්‍රියේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙරට මුහුදු සීමාව තුලට ඇතුළුවී අනවසර ධීවර කටයුතු සිදුකරමින් සිටි තවත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 02ක් සමඟ ඉන්දීය ජාතික ධීවරයින් 13ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, උතුරු නාවික විධානයට අනුයුක්ත හතරවන වේග ප්‍රහාරක මුර යාත්‍රා බලඝණයට අයත් වේග ප්‍රහාරක යාත්‍රා යොදවා අනලතිව් දුපතට බටහිර දෙසින් වු ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේ සිදුකළ මෙම විශේෂ මෙහෙයුම මඟින් මෙරට මුහුදු සීමාව තුල නීති විරෝධී ධීවර කටයුතු සිදුකරමින් සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 02ක් සහ එහි සිටි ඉන්දීය ජාතික ධීවරයින් 13 දෙනෙකු මෙලෙස 2021 දෙසැම්බර් මස 20 වන දින රාත්‍රියේ නාවික හමුදා භාරයට ගන්නා ලදී.

විදෙස් ධීවරයින් විසින් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරන ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා 2021 දෙසැම්බර් 18,19 සහ 20 දිනයන්හී උතුරු සහ උතුරු මැද නාවික විධානයන් මඟින් සිදු කළ අඛණ්ඩ මෙහෙයුම් මඟින් මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 10ක් සහ ඉන්දීය ජාතික ධීවරයින් 68 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු කළ මෙම මෙහෙයුම මගින් යාපනය, අනලතිව් දුපතට බටහිර දෙසින් වූ මෙරට මුහුදු තීරයේදී නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ජාතික ධීවරයින් ක්ෂණික ප්‍රතිදේහ පරීක්‍ෂණ සඳහා යොමු කිරීමෙන් පසු ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කිරිමට කටයුතු සිදු කරමින් පවතින අතර, මෙරට මුහුදු සීමාව තුළට ඇතුළුවී විදෙස් ධීවරයින් විසින් සිදුකරනු ලබන අනවසර ධීවර කටයුතු මැඩපැවැත්වීම උදෙසා නාවික හමුදාව ඉදිරියටත් අඛණ්ඩව මෙහෙයුම් සිදුකරනු ලබයි.