රුපියල් මිලියන 155කට ආසන්න වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 517ක පමණ තොගයක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2021 දෙසැම්බර් මස 23 වන දින රාත්‍රියේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් අවස්ථා දෙකකදී පිළිවෙලින්, කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 355කට අධික තොගයක් සහ කිලෝ ග්‍රෑම් 162 කට අධික තොගයක් සැකකරුවන් දෙදෙනෙකු (02) ද සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදුකෙරෙන මත්ද්‍රව්‍ය ඇතුළු විවිධ ජාවාරම් කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වූ වෙරළ තීරය ආවරණය වන පරිදි නිරන්තර සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව, උතුරු නාවික විධානයට අනුයුක්ත පී 157 සහ පී 177 දරණ වෙරළබඩ මුර යාත්‍රා මඟින් යාපනය, කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2021 දෙසැම්බර් මස 23 වන දින රාත්‍රියේ විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කරන ලදී. එහිදී මුහුදේ පාවෙමින් තිබූ උර 10ක පාර්සල් 160ක් ලෙස අසුරන ලද කේරළ ගංජා කිලෝ 355 ග්‍රෑම් 350ක පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට සමත් වූ අතර, ජාවාරම් කරුවන් විසින් මෙම කේරළ ගංජා තොගය නාවික හමුදා සෝදිසි මෙහෙයුම් හමුවේ ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව මුහුදට දමා පලා යන්නට ඇතැයි විශ්වාස කෙරේ.

පසුව, එම මුහුදු ප්‍රදේශයේ සිදුකළ වැඩිදුර සෝදිසි මෙහෙයුම් අතරතුරදී නාවික හමුදා යාත්‍රා මඟින් සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂා කිරීමට උත්සාහ කිරීමේදී එම ඩිංගි යාත්‍රාව නාවික හමුදා යාත්‍රා මඟහරිමින් එහි තිබූ උර කිහිපයක් මුහුදට විසිකර පළා යාමට උත්සාහ කරන ලදී. එහිදී නාවික හමුදා යාත්‍රා මඟින් සැකකටයුතු ඩිංගි යාත්‍රාව, එහි සිටි සැකකරුවන් දෙදෙනෙකු ද සමඟින් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. පසුව එම මුහුදු ප්‍රදේශයේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුම් මඟින් අදාල සැකකටයුතු ඩිංගි යාත්‍රාව මඟින් මුහුදට දමන ලදැයි සැක කෙරෙන උර 03ක පාර්සල් 60ක් ලෙස අසුරන ලද කේරළ ගංජා කිලෝ 162 ග්‍රෑම් 400ක පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, මෙම නාවික හමුදා මෙහෙයුම මඟින් කේරළ ගංජා කිලෝ 517 ග්‍රෑම් 750ක පමණ ප්‍රමාණයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට සමත් වූ අතර, නාවික හමුදා භාරයට ගත් එම කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 155කට ආසන්න වෙතැයි විශ්වාස කෙරේ.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සිදුකළ මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 26 සහ 31ක් වන යාපනය කොඩිකාමම් සහ මිරුසුවිල් යන ප්‍රදේශයන්හි පදිංචි පුද්ගලයන් බවට හඳුනා ගත් අතර, එම සැකකරුවන් සහ ඔවුන් විසින් මුහුදට දමන ලදැයි සැක කෙරෙන කේරළ ගංජා කිලෝ 162 ග්‍රෑම් 400ක පමණ ප්‍රමාණය ඉදිරි නීතිමය කටයුතු සඳහා කයිට්ස් පොලීසිය වෙත භාරදීමට කටයුතු කළ අතර, මුහුදේ පාවෙමින් තිබියදී නාවික හමුදා භාරයට ගන්නා ලද කිලෝ 355 ග්‍රෑම් 350ක පමණ තොගය නාවික හමුදා විනයාරක්‍ෂක අංශයේ අධීක්‍ෂණය යටතේ ගිනි තබා විනාශ කිරීමට කටයුතු කරන ලදී.