රුපියල් මිලියන 24කට අධික වීථි වටිනාකමකින් යුත් කේරළ ගංජා සමඟ සැකකරුවෙක් යාපනයේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසිය එක්ව 2022 ජනවාරි 21 දින රාත්‍රියේ යාපනය,  චුලිපුරම් ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 80 යි ග්‍රෑම් 500ක  පමණ තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා, නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබයි.

ඒ අනුව, උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනය  සහ කන්කසන්තුරෙයි පොලිසිය එක්ව  යාපනය චුලිපුරම් ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු නිවසක් පරික්‍ෂාවට ලක් කරන ලදී. එහිදී, එම නිවස තුල උර 5ක පාර්සල් 38 ක් වශයෙන් අසුරා සඟවා තිබූ කේරළ ගංජා කිලෝ 80යි ග්‍රෑම් 500ක  පමණ තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි. මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගයේ වීථි වටිනාකම රුපියල් මිලියන 24කට අධික වෙතැයි විශ්වාස කෙරේ. 

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදුකළ මෙම මෙහෙයුම මගින් අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 38ක් වන චුලිපුරම් දේශයේ පදිංචිකරුවෙක් බවට හඳුනාගත් අතර, මෙම සැකකරු සහ කේරළ ගංජා ඉදිරි නීතිමය කටයුතු සඳහා කන්කසන්තුරෙයි පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.