‘ගැඹුරු මුහුදේ නාවික හමුදාව සිදු කළ විශේෂ මෙහෙයුමකින් රුපියල් මිලියන 3300කට අධික වීථි වටිනාකමින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ දේශිය ධීවර යාත්‍රා 02ක් අත්අඩංගුවට ගනියි’ යන සිරස්තලය යටතේ 2022 ජනවාරි 24 වන දින නිකුත්කළ පුවත හා සබැ‍ඳේ

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ සිදුකළ සාර්ථක මෙහෙයුමක් මඟින් 2022 ජනවාරි මස 17 සහ 22 යන දිනයන්හී අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය රැගත් දේශීය ධීවර යාත්‍රා සහ දේශීය සැකකරුවන් 11 දෙනා අද (2022 ජනවාරි 25) උදෑසන කොළඹ වරාය වෙත රැගෙන එන ලද අතර, එය නිරීක්‍ෂණය කිරීම සඳහා ආරක්‍ෂක ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහභාගී විය.

ඒ අනුව ගොඩබිමට රැගෙන ආ උර දහතුනක් තුළ (13) පැකට් 309ක් ලෙස අසුරන ලද හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයේ බර කිලෝ 343 ග්‍රෑම් 456 ක් පමණ (ඇසුරුම් බර සහිතව) බව තහවුරු කර ගන්නා ලද අතර, එම මත්ද්‍රව්‍ය තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 3400කට අධික වෙතැයි විශ්වාස කෙරේ. මෙම මත්ද්‍රව්‍ය තොගය, සැකකරුවන් සහ දේශීය බහුදින ධීවර යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට කටයුතු කළ අතර, මේ සම්බන්ධ ඉදිරි විමර්ෂණ කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාව හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිදු කරනු ලබයි.

අද (2022 ජනවාරි 25) උදෑසන කොළඹ වරාය වෙත රැගෙන එන ලද මෙම මත්ද්‍රව්‍ය සහ දේශීය බහුදින ධීවර යාත්‍රා නිරීක්‍ෂණය සඳහා පැමිණි ආරක්‍ෂක ලේකම් සහ නාවික හමුදාධිපති, ශ්‍රීලංනානෞ සමුදුර නෞකාවේ නැව් මුළුව ඇමතීමට කටයුතු කරන ලද අතර, විශාල මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගනිමින් රටේ අනාගත පරපුර මත්ද්‍රව්‍ය උවදුරින් බේරා ගැනීම සඳහා ඉතා කැපවීමෙන් යුතුව සිදුකළ සාර්ථක මෙහෙයුම සඳහා දායකවූ නෞකාවේ අණදෙන නිලධාරී ඇතුළු සියළුම නාවික පුද්ගලයින්ගේ සේවය අගයිමින් ඔවුන් වෙත එහිදී ප්‍රශංසාව පල කිරීමට කටයුතු කෙරිණි.

තවද, මත්ද්‍රව්‍ය මෙරටින් පිටුදැකීමේ ජාතික අභිලාෂය සාක්ෂාත් කරගැනීම සඳහා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ උපදෙස් මත ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්නගේ මැදිහත් වීමෙන් සියළුම බුද්ධි අංශ ඒකාබද්ධ කර පොදු අරමුණක් කරා මෙහෙයවීමෙන් මෙවැනි සාර්ථක මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් සිදු කිරීමට හැකියාව ලැබි ඇති අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව දේශයේ ප්‍රථම ආරක්‍ෂක වළල්ල ලෙස තම රාජකාරිය නොපිරිහෙලා ඉටුකරමින් ධීවර කටයුතු මුවාවෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන මෙවැනි පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙරට නීතිය බලාත්මක කිරීමේ ආයතනයන් හා එක්ව අඛණ්ඩව ඉදිරියටත් මෙහෙයුම් සිදු කරනු ලබයි.