වාණිජ පුපුරණ ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු ත්‍රිකුණාමලයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව පොලිස් විශේෂ කාර්යය බලකාය හා එක්ව ත්‍රිකුණාමලය, ඉරණකේනී ප්‍රදේශයේ 2022 මාර්තු මස 21 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් තිබූ වෝටර් ජෙල් (Water Gel) නැමති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු 20ක් සහ විදුලි නොවන ඩෙටනේටර් 25ක් සමඟ සැකකරුවෙකු නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රීලංනානෞ වළගම්බා ආයතනය මඟින් ත්‍රිකුණාමලය සර්ධාපුර පොලිස් විශේෂ කාර්යය බලකාය හා එක්ව ත්‍රිකුණාමලය ඉරණකේනී ප්‍රදේශයේ 2022 මාර්තු මස 21 වන දින සිදු කළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, මාර්ගයේ ගමන් කළ සැකකටයුතු යතුරු පැදියක් පරීක්‍ෂාවට ලක්කරන ලදී. එහිදී එම යතුරු පැදියේ නීති විරෝධී ලෙස ප්‍රවාහනය කරමින් තිබූ වෝටර් ජෙල් (Water Gel) නැමති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු 20ක්, විදුලි නොවන ඩෙටනේටර් 25ක් සමඟ සැකකරුවෙකු සහ එම යතුරු පැදිය මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය, පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සිදු කරනු ලබන නීති වි‍රෝධී මත්ස්‍ය කර්මාන්තය සඳහා යොදා ගැනීමට මෙලෙස නීති විරෝධී ලෙස ප්‍රවාහනය කරන්නට ඇතැයි විශ්වාස කෙරේ. තවද, ධීවර ප්‍රජාවගෙන් ඉතා සීමිත පිරිසක් විසින් පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සිදු කරනු ලබන නීති වි‍රෝධී මත්ස්‍ය කර්මාන්තය හේතුවෙන් සාගරික පරිසර පද්ධතියට සිදු වන හානිය වැළැක්වීම සඳහා නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබයි.

පවත්තා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු කරන ලද මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 39ක් වන ත්‍රිකුණාමලය, කුච්චවේලී ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවට හදුනාගන්නා ලද අතර, අදාල සැකකරු, වාණිජ පුපුරණ ද්‍රව්‍ය, විදුලි නොවන ඩෙටනේටර් සහ යතුරු පැදිය ඉදිරි විමර්ශණ කටයුතු සඳහා කුච්චවේලී පොලීසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.