මෙරට මුහුදු තීරයේ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ටෝලර් යාත්‍රා 02ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකළ විශේෂ මුර සංචාර මඟින්, මෙරට මුහුදු සීමාව තුළට ඇතුළුවී අනවසර ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ටෝලර් යාත්‍රා 02ක් සමඟ ඉන්දීය ධීවරයින් 16 දෙනෙකු, 2022 මාර්තු මස 23 වන දින රාත්‍රියේ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

විදේශීය ධීවරයින් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරන නිතීවිරෝධී ධීවර කටයුතු හේතුවෙන් දේශීය ධීවර ප්‍රජාවට සිදු වන බලපෑම මෙන්ම මෙරට සාගරික පරිසරයේ ජෛව විවිධත්වයට එල්ලවන හානිය මැඩපැවැත්වීමේ අරමුණින්, විදේශීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව තුළ සිදු කරන නීති විරෝධී හා අනවසර ධීවර කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව අඛණ්ඩ මුර සංචාර සහ මෙහෙයුම් සිදු කරනු ලබයි.

ඒ අනුව, උතුරු සහ උතුරු මැද නාවික විධානයන්ට අනුයුක්ත හතරවන වේග ප්‍රහාරක බලඝණයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවන් යොදවා සිදුකළ මෙම විශේෂ මුරසංචාර මඟින්, යාපනය ඩෙල්ෆ්ට් දුපතට වයඹ දෙසින් සහ මන්නාරම ඉරනතිවු දූපතට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයන්හි, අන්තර්ජාතික මුහුදු සීමාව උල්ලංඝනය කරමින් නීති විරෝධී Bottom Trawling පන්න ක්‍රමයට ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ටෝලර් යාත්‍රා 02ක් සමඟ එම යාත්‍රාවන්හි සිටි ඉන්දීය ජාතික ධීවරයින් 16 දෙනෙකු නීති විරෝධී ලෙස අල්ලනු ලැබූ මත්ස්‍යයින් තොගයක් ද සමඟ නාවික හමුදා භාරයට ගන්නා ලදී.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු කළ මෙම මෙහෙයුම් මගින් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ටෝලර් යාත්‍රා සහ ධීවරයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා අදාල අංශ වෙත යොමු කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් පවතී.