තහනම් ධීවර දැල් කිලෝ ග්‍රෑම් 1418ක් සමඟ සැකකරුවෙකු මන්නාරමේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය හා එක්ව මන්නාරම, උප්පුකුලම් ප්‍රදේශයේ 2022 මාර්තු මස 27වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නිවසක නීති විරෝධී ලෙස ගබඩා කර තිබූ තහනම් ධීවර දැල් (Monofilament Nets) කිලෝග්‍රෑම් 1418 ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

ධීවර ප්‍රජාවගෙන් ඉතා සීමිත පිරිසක් විසින් තහනම් දැල් භාවිතයෙන් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කර්මාන්තය මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රීලංනානෞ ගජබා ආයතනය විසින් මන්නාරම පොලිසිය හා එක්ව මන්නාරම, උප්පුකුලම් ප්‍රදේශයේ 2022 මාර්තු මස 27වන දින සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, නීති විරෝධී ලෙස අලෙවි කිරීම සඳහා නිවසක ගබඩාකර කර තිබූ තහනම් ධීවර දැල් (Monofilament Nets) කිලෝග්‍රෑම් 1418 සමඟ සැකකරුවෙකු මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම තහනම් ධීවර දැල් තොගය, නීති වි‍රෝධී මත්ස්‍ය කර්මාන්තය සඳහා අලෙවි කිරීමට මෙලෙස නීති විරෝධී ලෙස ගබඩා කර තබන්නට ඇතැයි විශ්වාස කෙරේ.

මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 25ක් වන මන්නාරම, ඉරුක්කුලම්පිඩ්ඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවට හඳුනාගන්නා ලද අතර, අදාල සැකකරු සහ තහනම් ධීවර දැල් තොගය ඉදිරි විමර්ශණ කටයුතු සඳහා මන්නාරම පොලීසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.