උතුරු මුහුදේ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ටෝලර් යාත්‍රාවක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව ඩෙල්ෆ්ට් දූපතට දකුණු දෙසින් වූ මුහුදු තීරයේ සිදුකළ මුර සංචාරයකදී, මෙරට මුහුදු සීමාව තුළට ඇතුළු වී අනවසර ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ටෝලර් යාත්‍රාවක් සමඟ ඉන්දීය ජාතික ධීවරයින් සිව් දෙනෙකු (04), 2022 මාර්තු මස 28 වන දින රාත්‍රියේ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

විදේශීය ධීවරයින් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරන නිතීවිරෝධී ධීවර කටයුතු හේතුවෙන් දේශීය ධීවර ප්‍රජාවට සිදු වන බලපෑම මෙන්ම සාගරික පරිසරයේ ජෛව විවිධත්වයට සිදුවන අහිතකර බලපෑම මැඩපැවැත්වීමේ අරමුණින්, විදේශීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව තුළ සිදු කරන අනවසර ධීවර කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව අඛණ්ඩ මුර සංචාර සහ මෙහෙයුම් සිදු කරනු ලබයි.

ඒ අනුව, නාවික හමුදාව උතුරු නාවික විධානයට අනුයුක්ත හතරවන වේග ප්‍රහාරක බලඝණයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් යොදවා ඩෙල්ෆ්ට් දූපතට දකුණු දෙසින් වූ මුහුදු තීරයේ සිදුකළ මුරසංචාරයකදී, අන්තර්ජාතික මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ඩෙල්ෆ්ට් දූපතට දකුණින් වූ මෙරට මුහුදු සීමාව තුළ නීති විරෝධී bottom trawling පන්න ක්‍රමයට ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ටෝලර් යාත්‍රාවක් සමඟ ඉන්දීය ජාතික ධීවරයින් සිව් දෙනෙකු (04) නාවික හමුදා භාරයට ගන්නා ලදී.

මෙම මෙහෙයුම මගින් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාව සහ ඉන්දීය ජාතික ධීවරයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව මඟින් යාපනය ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත යොමු කිරීම සඳහා මේ වන විට කන්කසන්තුරය මයිලඩි ධීවර වරාය වෙත රැගෙන එමින් පවතී.

තවද, 2022 මාර්තු මස 23 දින ද යාපනය ඩෙල්ෆ්ට් දුපතට වයඹ දෙසින් සහ මන්නාරම ඉරනතිවු දූපතට වයඹ දෙසින් වූ මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ටෝලර් යාත්‍රා 02ක් සමඟ ඉන්දීය ධීවරයින් 16 දෙනෙකු නාවික හමුදා භාරයට ගත් අතර, මෙරට මත්ස්‍ය සම්පත සහ දේශීය ධීවරයන්ගේ ජීවනෝපාය රැකදීම සඳහා නාවික හමුදාව මෙවැනි මෙහෙයුම් ඉදිරියටත් අඛණ්ඩව සිදුකරනු ලබයි.