රුපියල් මිලියන 75ක් පමණ වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් මීගමුවේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මීගමුව, දූව කළපු ප්‍රදේශයේ අද (2022 මාර්තු 31) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 249 ග්‍රෑම් 900 කට ආසන්න තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ කුඩා කාර් රථයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තර සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව, බටහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා කැළණි ආයතනය හා ඊට අනුයුක්ත මැරීන් බලඝණ කණ්ඩායමක් එක්ව අද (2022 මාර්තු 31) මීගමුව, දූව කළපු ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කරන ලදී. එහිදී කුඩා කාර් රථයක් මඟින් ප්‍රවාහනය සඳහා සුදානම් කර පාර්සල් 110ක් වශයෙන් අසුරා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 249 ග්‍රෑම් 900 කට ආසන්න තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ එම කුඩා කාර් රථය නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයටගත් කේරළ ගංජා තොගයේ වීථි වටිනාකම රුපියල් මිලියන 75ක් පමණ වෙතැයි විශ්වාස කෙරේ.

මෙලෙස නාවික හමුදා භාරයටගත් සැකකරුවන් වයස අවුරුදු 30ක් සහ 47ක් වන මන්නාරම, පේසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම සැකකරුවන්, කේරළ ගංජා තොගය සහ කුඩා කාර් රථය ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා වලාන පොලිස් දුෂණ මර්ධන ඒකකය වෙත භාරදීමට කටයුතු කෙරිණි.