රුපියල් මිලියන 6200 කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 325ක පමණ තොගයක් දකුණු මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව, රාජ්‍ය බුද්ධි සේවාව සහ පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්යංශය එක්ව 2022 අප්‍රේල් මස 12 වන දින සවස් කාලයේ ගාල්ල, දොඩන්දූව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සහ කළ හෙරොයින් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 300ක පමණ හා අයිස් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 25ක පමණ තොගයක් රැගත් මෙරට බහු දින ධීවර යාත්‍රාවක් සමඟ එම ජාවාරමට සම්බන්ධ ඩිංගි යාත්‍රාවක්, කැබ් රථයක් සහ ත්‍රී රෝද රථයක් සමඟ සැකකරුවන් එකොලොස් දෙනෙකු (11) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

රාජ්‍ය බුද්ධි සේවය ලබා දුන් නිවැරදි බුද්ධි තොරතුරු මත ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව සති දෙකක කාලයක් පුරා දේශීය මුහුදු තීරය හා ජාත්‍යන්තර මුහුදු තීරය ආවරණය වන පරිදි අඛණ්ඩ සෝදිසි මෙහෙයුමක නිරත විය. ඒ අනුව 2022 අප්‍රේල් මස 12 වන දින සවස කාලයේ ශ්‍රී ලංකා නාවික හමුදා යාත්‍රා මඟින් ගාල්ල, දොඩන්දූව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරමින් තිබූ සැක කටයුතු මෙරට බහු දින ධීවර යාත්‍රාවක් පරීක්‍ෂාවට ලක් කරන ලදී. එහිදී එම බහු දින ධීවර යාත්‍රාවේ සුක්‍ෂම ලෙස සඟවා තිබූ උර 13 ක අසුරන ලද හෙරෝයින් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 300 ක පමණ හා අයිස් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 25 ක පමණ තොගයක් සොයා ගැනීමට නාවික හමුදාව සමත් විය. එම මත් ද්‍රව්‍ය තොගය සමඟ බහු දින ධීවර යාත්‍රාව සහ එහි සිටි සැකකරුවන් හය දෙනෙකු (06) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. පසුව මෙම සිදු වීමට අදාළව සිදු කළ විමර්ශණ මඟින් මෙම ජාවාරමට සම්බන්ධ ඩිංගි යාත්‍රාවක්, කැබ් රථයක් සහ ත්‍රී රෝද රථයක් සමඟ තවත් සැකකරුවන් පස් දෙනෙකු (05) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මෙලෙස මත්ද්‍රව්‍ය සමඟ නාවික හමුදා භාරයට ගත් බහු දින ධීවර යාත්‍රාව 2022 මාර්තු මස 26 වන දින බේරුවල ධීවර වරායෙන් බහුදින ධීවර කටයුතු සිදුකරන මුවාවෙන් පිටත්ව ගොස් ඇති අතර, ජාත්‍යන්තර මුහුදේ දී විදේශීය ජාවාරම් කරුවන් මාර්ගයෙන් මෙම මත්ද්‍රව්‍ය තොගය බහු දින ධීවර යාත්‍රාව වෙත ලබා ගෙන මෙරටට ගෙන ඒමට සැකකරුවන් උත්සහ කරන්නට ඇතැයි සැක කෙරේ. එමෙන්ම, මෙම මෙහෙයුමේ දී නාවික හමුදා භාරයට ගත් මත්ද්‍රව්‍ය තොගයේ දළ විථි වටිනාකම රුපියල් මිලියන 6200කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 23ත් 36ත් අතර වයසේ පසුවන හික්කඩුව, බූස්ස, කලවාන, බෙරිල්ලවත්ත සහ මොරගොඩ ප්‍රදේශයන්හි පදිංචි කරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම සැකකරුවන් 11 දෙනා පිළිබඳ ඉදිරි විමර්ශණ සහ මෙම මත්ද්‍රව්‍ය තොගය වැඩි දුර ගණනය කිරීම් පිළිබඳ කටයුතු මේ වන විට ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය එක්ව සිදු කරමින් පවතී.

තවද, දේශයේ ප්‍රථම ආරක්‍ෂක වළල්ල ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවේ භුමිකාව නොපිරිහෙලා ඉටු කිරිමට රාජ්‍ය බුද්ධි සේවය ඇතුළු නීතිය බලාත්මක කිරීමේ ආයතනයන් සමඟ සම්බන්ධීකරණය වී ඉදිරියටත් මෙවැනි සාර්ථක මෙහෙයුම් අඛණ්ඩ‍ සිදු කිරීමට නාවික හමුදාව කටයුතු කරනු ලබයි.